මහවැස්සෙන් ගෙවල් කැඩුණු අම්පාරේ පවුල් 5කට මල්වතු මහනාහිමිගෙන් නිවාස

පසුගිය දිනවල ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හානි වූ නිවාස යළි ගොඩනඟාගැනීමට ආර්ථික ශක්තියක් නැති අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 5ක් සඳහා නිවාස 5ක් ඉදි කර දීමට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබේ.

මේ සඳහා මූලික සාකච්ඡාව සඳහා මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව නියෝජනය කරන දොරණෑගම රතනපාල, තිබ්බටුවාවේ මේධංකර, මහවෙල රතනපාල, උඩුගොඩ ධම්මඛන්ද හිමිවරුන් ප්‍රමුඛ ස්වාමීන් වහන්සේ කණ්ඩායමක් පසුගියදා අම්පාර ප්‍රදේශයට වැඩම කළහ.

මල්වතු මහනාහිමිගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම සහ චීනයේ අන්ෆු විහාරයේ ෂීදා හෝං භික්ෂූණීන් වහන්සේගේ මූල්‍ය අනුග්‍රහය මත ඉදි කෙරෙන මේ නිවාසවල එක් නිවෙසක් සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියනකි.

මූලික පියවර ලෙස නිවාස 5ක් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඉදි කර දීමට කටයුතු කරන බවත්, ඉන් අනතුරුව නිවාස නැති තවත් පවුල් සඳහා නිවාස ඉදි කර දීමට අපේක්ෂා කරන බවත් මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමියෝ පැවසූහ. අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් ගණනාවක පැල්පත්වල ඉතා අසරණව ජීවත් වන පවුල් ගණනාවක් සිටින බවත්, වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයේ බලපෑමක් නැතත් එම නිවාස ජීවත් වීමට තරම් සුදුසු තත්ත්වයේ නැති බවත් උන් වහන්සේ කීහ.

නිවාස ඉදි කර දීම සඳහා මූලික සාකච්ඡාවට මෙයට ප්‍රථම අම්පාර ප්‍රාදේශීය ලේකම් තනතුර හෙබවූ වත්මන් මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මහත්වරු සහ අම්පාර නාමල්ඔය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ගම්පහ නාරද හිමි සහභාගි වූහ.

නිවාස ඉදි කිරීමට අවශ්‍යය සියලු ගොඩනැඟිලි ද්‍රව්‍ය මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ධ සුමංගල මානව සහයෝගිතා පදනම සහ ෂීදා හෝං භික්ෂූණී වහන්සේගේ මැදිහත් වීම මත සැපයෙන අතර, ඉදි කිරීම් සඳහා අවශ්‍යය ශ්‍රමය සිවිල් ආරක්ෂක බළකායෙන් සපයා ගැනීමට බලාපොරොත්තු වේ.