නෝර්වේ තානාපතිනිය අගමැතිනි හරිනි හමු වේ

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය අතර හමුවක් අගමැති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.

දිළිඳුකම පිටුදැකීම, සමාජ ආරක්ෂණ පියවර, බදු ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය සහ රැකියා උත්පාදනය ඇතුළු ප්‍රධාන මාතෘකා සමඟ දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීම පිළිබඳවද මේ හමුවේදී සාකච්ඡාවට ගැනිණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අගමැතිවරිය, වඩා ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා පාලන ක්‍රමය ඩිජිටල්කරණය කිරීමේ ආණ්ඩුවේ අඛණ්ඩ උත්සාහය පිළිබඳවද අවධාරණය කළාය.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපයේ හා උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර යන මහත්ම මහත්මීහුද, නෝර්වේජියානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මේ හමුවට එක්ව සිටියහ.