විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන ප්‍රවර්ධනය පිළිබඳව හසල දැනුමක් සහ පළපුරුද්දක් සහිත ආචාර්ය අයේෂා වික්‍රමසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය ලෙස පත්කර තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්ත ක්ෂේත්රයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතනයයි. මේ වන විට ස්වාධීනව ක්‍රියා කරන දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් ඒකරාශී කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදනවල නිර්මාණාත්මක බව අන්තර්ජාතික වෙළෙඳපොළට ගැළපෙන පරිදි හසුරුවමින් දේශීය අත්කම් කලාව අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ ස්ථාවර කිරීම අරමුණු කර ගනිමින් අමාත්‍යාංශය විසින් මේ පත්වීම සිදු කර ඇත.
මේ වගකීම භාර ගත් නව සභාපතිනිය මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය හා නිෂ්පාදන සංවර්ධනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස 2006 වසරේ සිට කටයුතු කරන අතර, ලොව ප්රමුඛ පෙළේ සන්නාම ප්‍රවර්ධනය සහ නිර්මාණය සඳහා ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල වෘත්තීමය අත්දැකීම් රැසක් ඇති අයෙකි.
ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය මොරටුව විශ්වවිද්‍යාලයෙන් Fashion Design and Product Development පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් හිමිකරගෙන තිබෙන අතර, එක්සත් රාජධානියේ University of the Arts, London හිදී තම පශ්චාත් උපාධිය ද, මෙරට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් (University of the Visual and Performing Arts) ආචාර්ය උපාධිය ද ගෙන ඇත. විලාසිතා නිර්මාණකරණය පිළිබඳව දෙස් විදෙස් සම්මාන රැසකින් ද පිදූම් ලබා ඇති ඇය විලාසිතා නිර්මාණය පිළිබඳව ජාතික හා අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකා රැසක් එළිදක්වා තිබේ.