අමෙරිකානු ගුවන් යානයකට රතු මුහුදේදි වැරදීමකින් අමෙරිකාවෙන්ම වෙඩි

රතු මුහුදට ඉහළින් පියාසර කරමින් තිබූ අමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානයකට අමෙරිකාවටම අයත් මිසයිල විදින නෞකාවකින් වෙඩි තබා බිම හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුවන් යානය කඩා වැටීමට පෙර නියමුවන් දෙදෙනා දිවි බේරාගැනීමට සමත්වී ඇතැයි ද, එක් පුද්ගලයකුට පමණක් සුළු තුවාල සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල එල්ල කිරීමේ මෙහෙයුමකට එක්වී සිටි නෞකාවක් වන අතර, සිය රටෙහි නාවික හමුදා ගුවන් යානයට වෙඩි තබා ඇත්තේ වැරදීමකින් බව අමෙරිකානු හමුදා ප්‍රධානියා නිවේදනය කර ඇතැයි වාර්තා වේ. වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ හවුති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරිමට එක්වූ ගුවන් යානයක් බවට තහවුරු වී නැති අතර, එම අනතුර පිළිබඳ විමර්ශනයක් පවත්වන බවට රතු මුහුදේ මෙහෙයුමට සම්බන්ධ අමෙරිකානු හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.