හැටන් මාරක අනතුරේ රියැදුරා බසය පැදෙව්වේ තනි අතින් / දුරකතනයත් කනේ ගහන්-බසයේ CCTV දත්ත මකා දාලා

රියැදුරු අසුනට යාබදව ඇති පැති දොර එකවරම විවෘත වීම හේතුවෙන් එය වැසීමට රියැදුරු උත්සාහ ගන්නා විට වේගයෙන් ධාවනය වෙමින් තිබුණු හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථය හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ වූ ප්‍රපාතයට පෙරළී තිදෙනකු මියගොස් 56 දෙනෙකුට තුවාල සිදුව ඇති බව හැටන් පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී රියැදුරු ජංගම දුරකතනයකින් ඇමතුමක් ගෙන තනි අතින් බස් රථය ධාවනය කරමින් සිට ඇති බවට බස් රථයේ ගමන් කළ මගීන් පවසන බව පොලීසිය සඳහන් කළේය. ජංගම දුරකතනයෙන් ඇමතුම ගනිමින් ඔහු බස් රථය පදවා ඇත්තේ දකුණුපස බාහුව පැති දොරට හේත්තු වන ලෙස තබාගෙන බව තුවාල ලැබූවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමේ දී අනාවරණය වී ඇති බව හැටන් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළේය.

නොසැලකිලිමත්ව මගීන්ගේ ජීවිත අවදානමේ දමමින් රියැදුරා රිය ධාවනය කර ඇති බව අනතුර සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී පෙනී ගොස් ඇති බැවින් රියැදුරුට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නා බව ද ප්‍රදීප් වීරසේකර මහතා පැවසීය. මේ වන විට රියැදුරාද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වීරසේකර මහතා සඳහන් කළේය.

නාවලපිටිය, නවතිස්පනේ පදිංචිකරුවකු වන රම්බොඩගෙදර ප්‍රසන්න බණ්ඩාර (46) නමැති සැකකාර රියැදුරු ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හැටන් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කරනු ලැබීය.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පුංචි සුරංගනාවී නම් පෞද්ගලික බස් රථය මෙසේ අනතුරට ලක්වන්නේ පෙරේදා (21)ය.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ මහනුවර, යටිනුවර වීදියේ පදිංචිව සිටි අබ්දුල් උවයිස් (68), හැටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ් කුමාර් (14) සහ නොර්වුඩ් ඉහළ කොටසේ පදිංචිව සිටි මුත්තුරාකු (67) නමැත්තන්ය.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 56 දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඉන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් හැටන් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළේය.

මෙම අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් 07 දෙනකු මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත්, තවත් තුවාලකරුවන් 43 දෙනකු දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් දික්ඔය මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය. තුවාල ලැබූ කිහිප දෙනෙක් පෙරේදා සවස් වන විට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.

අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. රියැදුරු ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්ෂාව යටතේය.

අනතුරට පත් බස් රථය අනුමත ආසන සංඛ්‍යාවට වඩා තවත් ආසන කිහිපයක් සවි කර තිබූ බවට ද තොරතුරු අනාවරණය වන බව සඳහන් කළ පොලීසිය, අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර බැලීමේදී බස් රථය අනතුරට පත් වී විනාඩි කිහිපයක් ඇතුළත එම කැමරාවේ දර්ශන කිසියම් අයකු විසින් ජංගම දුරකතනයක් ඔස්සේ මකා දමනු ලැබ ඇති බවට කරුණු අනාවරණය වන බව ද පොලීසිය පවසයි.

එම දත්ත අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, අනතුරට පත් බස් රථය පෙරේදා (21) රාත්‍රියේ හැටන් පොලීසිය විසින් ගොඩගනු ලැබිණි.

අනතුර සිදුවූ බස් රථයේ රියැදුරා මීට මාස කිහිපයකට පෙර ගිනිගත්හේන ප්‍රදේශයේ රිය අනතුරක් කර ඇති බවත් එහි දී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත් පොලීසිය පවසයි. එමෙන්ම එම රියැදුරු ධාවනය කළ බස් රථයෙන් නාවලපිටිය ප්‍රදේශයේදීද රිය අනතුරක් කර ඇති බව ගිනිගත්හේන සහ නාවලපිටිය පොලිස් ස්ථාන සඳහන් කරයි.

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් 14 හැවිරිදි දරුවා වකුගඩු රෝගියකු වන අතර, ඔහු සායන කටයුතු සඳහා සහභාගි වීම සඳහා සිය සොහොයුරිය සමඟ මහනුවර දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.

ජීවිතක්ෂයට පත් එම දරුවාගේ සොහොයුරියද අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් එක්ව රිය අනතුරු අවම කිරීම සඳහා පසුගිය දා හැටන් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට වැඩමුළු ද පවත්වා තිබූ අවස්ථාවක මෙවැනි මාරක රිය අනතුරු සිදුවීම ඉතාමත් ශෝකජනක සිද්ධියක් බැව් පොලීසිය සඳහන් කරයි.

හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ හා හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් රථවාහන අංශයේ නිලධාරින් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබයි.