2024 දෙසැම්බර් 18 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට අදාළ නියමයන් කිහිපයකට අනුමැතිය
තනි සංයුක්ත බද්දක් වශයෙන් ක්‍රියාත්මක වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග 63ක් ආනයනය සඳහා විධිවිධාන සලසා ඇති 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පරිච්ඡින්න කිරීම සඳහා වන 2024.03.25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකිරීමටත්, 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් වන භාණ්ඩ සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනු ප්‍රමාණ 2025.01.01 දින සිට බලාත්මකව පවත්වාගෙන යෑම පිණිසත් අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැති ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මහ බැංකුව යෝජනා කර ඇති අත්හිටුවීම්-සීමාකිරීම් සංශෝධනය
දැනට ක්‍රියාත්මක වන නියමය යටතේ පනවා ඇති ඇතැම් අත්හිටුවීම් සහ සීමාකිරීම් තවදුරටත් සංශෝධනය කරමින් 2025 ජූනි මාසය දක්වා බලපැවැත්වෙන පරිදි නව නියමයක් නිකුත් කිරීම යෝග්‍ය බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇත. ඒ අනුව, 2024.12.20 දින සිට බලාත්මක වන පරිදි මාස 6ක කාලසීමාවක් සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ නියමයක් නිකුත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
රජයේ ආයතනවල භාණ්ඩ, වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදන
අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති රජයේ ආයතන විසින් භාණ්ඩ, වැඩ සහ උපදේශන නොවන සේවා සඳහා ප්‍රසම්පාදනය කරනු ලැබීම සහ ඒ හා සම්බන්ධය ඊට ආනුෂංගික කරුණු පිළිබඳ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
රජයට අයත් වාණිජ නොවන ආයතන පිළිබඳ සමාලෝචනය
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදු කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඉන්දු-ශ්‍රී ලංකා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික අමාත්‍යාංශ අතර ගිවිසුමක්
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ඩිජිටල් ආර්ථික ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා පොලීසියේ වාහන සඳහා ඉන්දීය ප්‍රදාන ගිවිසුම
ශ්‍රී ලංකා පොලීසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා සහාය දීමක් ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රදානයක් පිරිනැමීමට එකඟතාව පළ කර ඇති අතර, එකී ප්‍රදානය ලබාගැනීමට අදාළව අවබෝධතා ගිවිසුමට එළඹීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ආනන්ද විජේපාල මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
පාකිස්තානයෙන්-ඉන්දියාවෙන් ගවයන් හා ගව ශුක්‍ර මිලට ගැනීම
ශ්‍රී ලංකා සහ පාකිස්තාන රජයන් අතර ගනුදෙනුවක් ලෙස සහිවාල් වර්ගයට අයත් පුං ගවයන් පස්දෙනකු හා නිලිරවි වර්ගයට අයත් පුං ගවයන් දෙදෙනකු මිල දී ගැනීමටත්, සහිවාල් ගව ශුක්‍ර වඩි 20,000ක් ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලයෙන් රජයන් අතර ගනුදෙනුවක් ලෙස මිල දී ගැනීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
භාර ආඥාපනත සංශෝධනය කිරීම
2025 වසරේදී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්‍යෝන්‍ය ඇගයීමේදී, යහපත් ස්ථානයක් ලබාගැනීම උදෙසා භාර ආඥාපනතේ විධිවිධාන සංශෝධනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් යෝජිත සංශෝධන ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී යෝජිත සංශෝධන ඇතුළත් කරමින් භාර ආඥාපනත සංශෝධනය කිරීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ප්‍රසම්පාදන කටයුතු සඳහා ඇගයීම් කමිටු 4ක්
අමතර කොටස් හා උපාංග මිල දී ගැනීම, නව ටයර් කට්ටල සපයාගැනීම, ප්‍රාදේශික සඳහා ටයර් පෙරසවි සේවා සැපයීමේ ආයතන තෝරාගැනීම, ග්‍රීස් සහ ලිහිසි තෙල් සපයාගැනීම හා නව එන්ජින් කට්ටල සපයාගැනීම ඇතුළුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා 2025 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රසම්පාදනය කළ යුතුව ඇත. එකී ප්‍රසම්පාදන අතුරින් ප්‍රසම්පාදන 4ක් අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ අධිකාරි සීමාව ඉක්මවා යන බැවින්, එම ප්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට යොමු කළ යුතුව ඇත. ඒ අනුව, එකී ප්‍රසම්පාදන වෙන් වෙන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් ක්‍රියාත්මක කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවට සහාය වීම පිණිස එම ප්‍රසම්පාදන 4 සඳහා වෙන් වෙන්ව තාක්ෂණික ඇගයීම් කමිටු 4ක් පත් කිරීමටත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නළ ජල-සනීපාරක්ෂක පහසුකම් පිරිවැය සංශෝධනය වෙයි
නළ ජල සේවා සඳහා ප්‍රවේශය වැඩි කිරීමට සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට ආරම්භ කළ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමටත්, අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන 2025 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කරගැනීමටත් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති, ආචාර්ය එන්.ජී. අනුර කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
වින්දිත කතුන්ට-දරුවන්ට රැකවරණ ප්‍රතිපාදන
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිතයන් බවට පත් වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති රැකවරණ නිවාස ඇති කිරීමේ වැඩසටහනට 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඉන් අනතුරුව ඉදිරි වර්ෂ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දීමටත් කාන්තා සහ ළමා කටයුතු ඇමැතිනි සරෝජා පොල්රාජ් මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සිමෙන්ති ඇසුරුම්වල සෙස් බද්ද අඩු කිරීම
ක්ලින්කර්, සිමෙන්ති තොග සහ සිමෙන්තිවල සිල්ලර වෙළෙඳ ඇසුරුම් වශයෙන් ඇති බෑග් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1/- බැගින් සෙස් බද්ද අඩු කිරීමටත්, ඉදිකිරීම් කාර්යයන් සඳහා පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශයට යටත්ව මෙට්‍රික් ටොන් මිලියන 1ක් දක්වා ප්‍රමාණයක් කළුගල් කුට්ටි අපනයනය කිරීමට සහ කියුබික් මීටර 1ක් සඳහා රුපියල් 1,000/-ක අනු ප්‍රමාණයකින් යුත් සෙස් බද්දක් නියම කර අය කරගැනීමටත් වූ නියමයන් සහිත අතිවිශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස 63 දක්වා
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතව ඇත. එම තීරණය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට විශ්‍රාම යෑමට නියමිතව සිටි අයට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්, සියලු ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත සෛල වෛද්‍ය නිලධාරීන්, සියලු දන්ත සෛල දෛව්‍ය නිලධාරීන්, සියලු පරිපාලන ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කෙරේ.