දින තුනක් තිස්සේ ආහාර හා ජලය නැතිව මුහුදේ අසරණව සිටි කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු මියන්මාර් ජාතික සරණාගතයන් 103 දෙනකු රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට ආසන්න මුහුදේ ඊයේ (19) පාවෙමින් තිබියදී මුලතිව් ධීවරයන් විසින් වහාම ක්‍රියාත්මක වී එහි සිටි සියලු දෙනාගේම ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.
මෙම ට්‍රෝලර් යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයට පැමිණ තිබියදී ධීවරයන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත්තේ ඊයේ උදෑසන 9.10ට පමණය. ඒ බව ධීවරයන් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම යාත්‍රාවේ සරණාගතයන් 103 දෙනකු සිටින බව දැනගන්නට ලැබුණු බව මුලතිව් පොලීසිය සඳහන් කළේය. ඒ අතර වයස අවුරුදු 70ට වැඩි යැයි අනුමාන කරන මහලු පුද්ගලයන් 10 දෙනකු ද ළමයින් 30ත් – 35ත් අතර පිරිසක් ද සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ගැබිනි කාන්තාවක ද මෙම යාත්‍රාවේ සිට ඇත.
මෙම පිරිස රැගෙන පැමිණි ආහාර හා ජලය දින තුනකට පෙර අවසන් වී තිබී ඇති බව ද පොලීසිය කියයි. එබැවින් දින තුනක් තිස්සේ නිරාහාරව සිටි මෙම පිරිසට ධීවරයන් විසින් ජලය මෙන්ම ආහාර කුඩා බෝට්ටුවලින් රැගෙන ගොස් දීමට පියවර ගෙන තිබිණි. නිරාහාරව සිටීම හේතුවෙන් ආහාර ගැනීමේදී කිහිපදෙනකු වමනය කිරීම ඇතුළු ඇතැම් රෝගී තත්ත්වයන් පෙන්නුම් කර ඇත. මුලතිව් රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු ධීවර බෝට්ටුවලින් යාත්‍රාව වෙත ගොස් ඒ අය ඇතුළු ගැබිනි කාන්තාවට ප්රතිකාරද කර තිබේ. ඇතැම් අයට සේලයින් පවා දීමට සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මෙම පිරිස සරණාගතභාවය අපේක්ෂාවෙන් මියන්මාරයේ සිට ගමන් කරන පිරිසක් බවත් භාෂා ගැටලුව හේතුවෙන් ඒ අය සමඟ සන්නිවේදනය කිරීමට සිදුව ඇත්තේ සංඥා භාෂාවෙන් බවත් පොලීසිය සඳහන් කළේය. ඔවුන් සමඟ සංඥා භාෂාවෙන් කළ සන්නිවේදන කටයුතුවලින් පෙනී යන්නේ මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ ඇති අය බවයි. ගොඩබිමට ඇතුළුවීමට ඔවුන්ගේ සූදානම තිබී ඇත්තේ වෙනත් ස්ථානයකින් වුවත් ආහාර හා ජලය නැති වීමෙන් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට යාත්‍රාව රැගෙනවිත් ඇති බව පෙනී යන බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම යාත්‍රාව තරමක් විශාල බැවින් මුල්ලිවයික්කාල් වෙරළ ආසන්නයට රැගෙන ඒමට නොහැකි බැවින් නාවික හමුදාවේ සහාය ඇතිව එය ත්‍රිකුණාමලය වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කෙරුණු බව ද පොලීසිය සඳහන් කළේය. ඒ සඳහා ත්‍රිකුණාමලයේ සිට ඩෝරා ප්‍රහාරක යාත්‍රාවක් ද මුලතිව් වෙත පැමිණි බව පොලීසිය සඳහන් කළේය.
මෙම මියන්මාර් ජාතිකයන් රොහින්යා වැසියන් බව සැකකරන බවත් සරණාගතයන් ලෙස නීති විරෝධී ලෙස මියන්මාරයේ රොහින්යා වැසියන් අවස්ථා කිහිපයකදීම මෙරටට බෝට්ටු මඟින් පැමිණ ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. මෙයට පෙර අවස්ථා දෙකකදී කල්මුණේ සහ අක්කරෛපත්තු වෙරළ තීරවලින් මියන්මාරයේ රොහින්යා වැසියන් මෙරටට ඇතුළු වීමට කළ උත්සාහයන්වලදී අත්අඩංගුවට ගෙන තිබිණි. ගල්කිස්සේ රැඳී සිටි රොහින්යා ජාතිකයන් 30 දෙනකු ද 2017 වසරේදී පොලීසිය මඟින් සොයාගෙන තිබිණි. 2022 වසරේ දෙසැම්බර් 17 වැනිදා ද උතුරේ ධීවරයන් විසින් ආපදාවට ලක්ව මුහුදේ පාවෙමින් තිබුණු මියන්මාර් ජාතිකයන් රැගත් යාත්‍රාවක් සොයාගෙන තිබිණි. ඒ බව නාවිත හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව එම යාත්‍රාවට නාවික හමුදාව ගොස් කළ පරීක්ෂා කිරීමේදී රෝහින්යා වැසියන් 104 දෙනකු එහි සිට ඇති අතර ඔවුන්ව කන්කසන්තුරේ පොලීසියට භාරදී තිබිණි. ඒ අය අතර ද කුඩා දරුවන් 49 දෙනකු සහ කාන්තාවන් 26 දෙනකු සිට ඇත. ඔවුන් මාසයකට වැඩි කාලයක් කාර්මික දෝෂයකට යාත්‍රාව ලක්වී පාවෙමින් තිබී ඇති බව හෙළිවී තිබේ. ඔවුන් සමඟ ගමන් කළ 209 දෙනකු රැගත් යාත්‍රාවක් එම වසරේ නොවැම්බර් 15 වැනිදා මුහුදේ ගිලී අතුරුදන්ව ඇත. එම අනතුරින් 209 දෙනාම මියගොස් ඇති බව එකල කියැවිණි. එම පිරිස ගමන් කරමින් සිට ඇත්තේ ඉන්දුනීසියාව වෙතය.
2022 වසරේ ජූනි මාසයේදී මලයාසියානු වෙරළ ආරක්ෂකයන් ද රෝහින්යා වැසියන් 270 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. එසේම 2023 වසරේදී රොහින්යා ජාතිකයන් රැගත් මලයාසියාව බලා යමින් තිබුණු යාත්‍රාවක් මහ මුහුදේ පෙරළී 23 දෙනකු මියගොස් 30 දෙනකු දියේ ගිලී අතුරුදන්ව තිබිණි. ඉකුත් ඔක්තෝබර් 31 වැනිදා ද රොහින්යා සරණාගතයන් 96 දෙනකු රැගත් බෝට්ටුවක් ඉන්දුනීසියාවට ඇතුළු වී තිබිණි. එම යාත්‍රාවේ සිටි 06 දෙනකු අතරමඟදී මිය ගොස් තිබිණි. මියන්මාරයේ පවතින ගැටුම් හේතුවෙන් රොහින්යා ජාතිකයන් මෙසේ සිය මවුරට අතහැර දමා සරණාගතයන් ලෙස සංක්‍රමණය වන බව ජාත්‍යන්තර මාධ්‍යවල සඳහන්ය.