ප්‍රභූ ආරක්ෂාවට යෙදවිය යුත්තේ හමුදාව-පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

ප්‍රභූ ආරක්ෂාවට යෙදවිය යුත්තේ පොලීසිය නොව හමුදාව බව පිවිතුරු හෙළ උරුම‍ෙය් නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“ජනපති ආරක්ෂාවට හමුදාව ඉවත් කර පොලීසිය යෙදවීමට තීරණය කිරීම අනුමත කරන්න බෑ. මේ දිනවල රටේ පවතින සාමකාමී තත්ත්වය හමුවේ හමුදාවට සුවිශේෂ රාජකාරියක් නෑ. නමුත් වැටුප් සහ දීමනා සුපුරුදු විදියට ගෙවනවා. ඒ නිසා හමුදාව ප්‍රභූ ආරක්ෂාවෙන් ඉවත් කළා කියලා රටට වන ඉතිරියක් නෑ. නමුත් පොලීසිය ප්‍රභූ ආරක්ෂාවෙන් මුදා ගත්තොත් ඒ අය පැමිණිලි විභාගයට, පාතාල මර්දනයට, මත් ජාවාරම මර්දනයට, උසාවි කටයුතුවලට, මාර්ග තදබදය අවම කිරීමට යොදවන්න පුළුවන්. ඒවා පොලිස් රාජකාරි. ඒ නිසා ඇත්තෙන්ම කළ යුත්තේ හමුදාවට ප්‍රභූ ආරක්ෂාව භාර දී පොලීසිය ඒකෙන් මුදාගැනීමයි. එතකොට පොලීසියේ දැන් පවතින ශ්‍රම හිඟයටත් ඒක විසඳුමක් වෙයි.

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීම වැරදියි. අපේ පක්ෂයෙන් හිටපු ජනපතිවරයකු නෑ. ඒ නිසා හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීමේ ජනප්‍රිය තීන්දුවට අපටත් හුරේ දාන්න පුළුවන්. නමුත් හිටපු ජනාධිපතිවරුන්ට ආරක්ෂාව දීමේ තාර්කික බව තේරුම් නොගත්තොත් අපට මහ විනාශයක් වෙන්න පුළුවන්. අද ආරක්ෂාව ලබන මහින්ද සහ ගෝඨාභය කියන ජනාධිපතිවරුන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඒ නිසා දෙමළ බෙදුම්වාදීන්ගේ වෛරයට එතුමන්ලා අද බඳුන් වෙලා ඉන්නේ. හිටපු ජනපති සිරිසේනත් වැඩ බලන ආරක්ෂක ඇමැති විදියට කටයුතු කළා විතරක් නොවේ පස් වතාවක් කොටි ත්‍රස්තවාදීන් මරා දාන්න වෑයම් කළ නායකයෙක්. තනතුරෙන් විශ්‍රාම ගත්තාට පස්සේ ආරක්ෂාව නැති වෙනවා නම් තනතුරේ ඉන්න කාලයේ අවදානම් තීන්දු ගන්න පැකිළෙනවා. ත්‍රස්තවාදය, පාතාලය වගේම මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන්න නායකයන් එඩිතර තීන්දු ගන්නේ තමන්ට ජීවිත කාලයටම ආරක්ෂාව ලැබෙනවා කියන සහතිකය ලැබුණොත් විතරයි.”