හොරණ-කොළඹ පාසල් රථයේ ප්‍රේමනීය මතක 40 වැනි සංවත්සරය හොරණදී සමරයි

එදා පළමුවරට 1984 වසරේ දී ආරම්භ කළ හොරණ සිට කොළඹ ගිය ලංගම පාසල් බස් රථයේ ගමන් කළ සිසුන් එක්ව පිහිටුවා ගත් HR -1 සංසදයේ 40 වැනි සංවත්සරය පසුගියදා හොරණ වාසනා උත්සව ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.

1980 දශකයේදී හොරණ සිට කොළඹ දක්වා පාසල් ගිය සිසුන් බොහෝ දෙනෙකු දුෂ්කරතාවට මුහුණ පෑහ. බසයක් නොමැතිව ප්‍රමාද වී පාසලට ගොස් බැණුම් අසන්නට සිදුවූ අවස්ථාවත් එසේ නොමැති නම් බසයක් නොමැති වීම නිසා පාසල් නොගොස් ආපසු ගෙදර ආ අවස්ථා බොහොමයක් තිබුණි.

මේ කරදර හැමදාමත් ඉවසාගත නොහැකි වූ තැන සිසුන් සියයක් පමණ කණ්ඩායමක් එවකට ප්‍රවාහන ඇමැතිවරයා ළඟට ගොස් පාසල් බසයක් ලබාගන්නට කටයුතු කළහ.

එය නම් කළේ HR -1 පාසල් බසය නමින්ය.

එදා මේ අයුරින් හොරණ සිට කොළඹ දක්වා ලංගම බසයෙන් පාසල් ගිය අය අද ලොකු මහත්වී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, ඉංජිනේරු, මහේස්ත්‍රාත්, නීතිඥ, වරලත් ගණකාධිකාරී, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා සමාගම්වල ඉහළ නිලතල දරන්නන් මෙන්ම ඉහළ ව්‍යවසායකයින් බවට ද පත්ව ඇත.

ඒ අතර තව පිරිසක් අ‍ෙමරිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය ආදී රටවල ජීවත් වෙති. පසුගියදා හොරණ වාසනා උත්සව ශාලාවේදී පැවැති මෙම හතළිස් වැනි සංවත්සරයට පැමිණි අය අතර ඇතැම් අය පැමිණ සිටියේ මේ වෙනුවෙන්ම විදේශ රටවල්වල සිටය.

එම උත්සවයට එකතු වුණු හොරණ – කොළඹ බසයේ පාසල් ගිය මුල් පරම්පරාවේ පිරිස ළඟ අපූරු රස මතක ගොන්නක් තිබුණි.

මෙහිදී වඩාත් විශේෂම සිදුවීම වූයේ එදා හොරණ – කොළඹ බසයේ කොළඹ පාසල්වලට ගමන් කරමින් බස් රථය තුළ ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගත් මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ආදරණීය යුවළ පහක් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමත් බස් රථයේ පළමු රියැදුරා වූ සිරිමල් මහතාව ගෞරවයෙන් කැඳවා ඔහු වෙත උපහාර තිළිණ ප්‍රදානය කිරීමත්ය.

එහිදී පාලිත ජයවර්ධන, මොරානි විජයගුණවර්ධන යුවළ, අසන්ත දසනායක සහ හිරන්තිකා වල්පිට යුවළ, සාගර විජේසිංහ සහ ප්‍රභා රුද්‍රිගු යුවළ, දයාෂාන්ත ගම්ලත් සහ අනුජා අලුත්ගේ යුවළ, සුමින්ද ගම්මන්පිල සහ චන්ද්‍රිකා බෙත්මගේ යුවළ මෙහිදී ආදරණීය සමරු තිළිණවලින් පිදුම් ලැබූහ.

පැරණි බස් රථයේ ඡායාරූපය සහ හොරණ – කොළඹ එම බස් රථයෙන් පාසල්වලට ගිය සියලු පාසල්වල නිල ලාංඡන සහිත දැන්වීම් පුවරුවක්ද මෙහිදී නිර්මාණය කර තිබුණේ තම පාසල් මතකයද අලුත් කරමිනි.

මුළු දවස පුරාම කැලිප්සෝ සංගීතයෙන් රස ගැන්වූ මෙම වැඩසටහන බස් රථයේ ගමන් කළ විවිධ පිරිස් එවකට තමන් මුහුණ දුන් විවිධ අතීත සිද්ධීන් මතක් කරමින් හැම දෙනාගේම සතුට විනෝදය ඇති කරන ලදි.