යාල රක්ෂිත ප්‍රේරක කලාපයේ තවත් මහ වන විනාශයක් අක්කර ගණන් හිතුමතේ කපා දාලා

තිස්සමහාරාම යාල ජාතික උද්‍යානයට යාබද වන සංරක්ෂණ ෙප්‍ර්රක කලාපයක් වන ගල්ආර ප්‍රදේශයේ වනාන්තරය හෙළිපෙහෙළි කරමින් මහා වන සංහාරයක් සිදුකර ඇත.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත ලුණුගම්වෙහෙර වන සංරක්ෂණ නිලධාරීන් සමඟ ඊයේ (18) එම ස්ථානයට ගිය අවස්ථාවේ කොහොඹ, බුරුත, පලු වීර වැනි වටිනා දැව ශාක දෙසීයකට වැඩි ප්‍රමාණයක් මුලින්ම කපා සිදුකර ඇති මහා වන සංහාරයක් දැක ගැනීමට හැකි විය.

අක්කර දෙකක පමණ ප්‍රදේශයක වනාන්තරය විනාශකර ඇති අතර දින දෙකකට පෙර මෙම විනාශය කර තිබෙන බව වන සංරක්ෂණ නිලධාරීන්ට නිරීක්ෂණය විය.

වන සංරක්ෂණ කලාපයට අයත් තවත් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇත.

මෙසේ හෙළිකරනු ලබන ඉඩම් ජාවාරම්කරුවන් විසින් විවිධ පුද්ගලයන්ට අලෙවිකර ඇති අතර ඇතැම් ඉඩම් මිලදී ගත් අය අලිවැටවල් පවා ගසාගෙන ඉඩම් වෙන්කරගෙන ඇති අයුරු දක්නට ලැබුණි.

ඉඩම් ජාවාරම්කරුවන් විසින් මෙලෙස වටිනා දැව කපා අලෙවි කර එළිපෙහෙළි කරන ලද ඉඩම් අක්කරයක් ලක්ෂ තිහක් හතළිහක් පමණ මුදලකට පිටස්තර පුද්ගලයන්ට අලෙවි කරන බව එම ප්‍රදේශයේ හේන් ගොවීන් රැසක්ම කරුණු අනාවරණය කළේය. වන සංරක්ෂණ නිලධාරීන් මෙම වන හානිය ගැන දැනුම්දී ඇතත් බොහෝ අවස්ථාවල වන සංරක්ෂණ නිලධාරීන් පැමිණෙන්නේ කැළෑව හෙළි කිරීමෙන් පසුව බවද ඒ අය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

කපා දමා තිබුණු රක්ෂිතයේ ගස් කඳන් වන සංරක්ෂණ නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියේය.

දැව කපා හෙළිපෙහෙලි කළ මෙම භූමියට කිසිවකුටත් ඇතුළුවීමට නොහැකි වන ලෙස තහනමක් පැනවීමට ඉදිරියේදී කටයුතු කරන බව මෙම ස්ථානයට පැමිණි ලුණුගම්වෙහෙර බීට්ටු වන නිලධාරී තාරක සමරසිංහ සඳහන් කළේය.