කාණ්ඩ තුනකින් වාහන ගෙන්වීමට අවසර
2022-2023 වගේ තත්ත්වයක් යළි කිසිදා රටේ ඇතිවෙන්නේ නෑ
ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟත්වයකට පැමිණි බව ජනපති මැතිසබේදී කියයි
උපයන විට බදු සීමාව මසකට රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර අරමුදල සමඟ එකඟතාවකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.
සියයට 6ක බද්දකට යටත් වන පරිදි පෞද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ හයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව රුපියල් ලක්ෂ එකහමාරක මාසික වැටුපක් ගන්නා අයකුගෙන් සියයට සියයක් බදු නිදහසක් වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. රුපියල් ලක්ෂ දෙකක වැටුපක් ගන්නා අයකුගේ බද්ද සියයට 71කින් නිදහස් වන අතර ලක්ෂ දෙකහමාරක වැටුපක් ගන්නා අයකුගේ බද්ද සියයට 47කින් නිදහස් වේ. එමෙන්ම රුපියල් ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්නා අයෙකුගේ බද්ද සියයට 25කින් නිදහස් වේ. රුපියල් ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්නා කෙනකුගේ බද්ද 25.5%කින් නිදහස් යැයිද හෙතෙම පැවසීය.
මේ අනුව වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත් අඩු ආදායම් ලබා ගන්නා අයට වැඩි සහනයකුත් හිමි වන පරිදි උපයන විට ගෙවන බද්ද සංශෝධනය කර ගැනීමට සමත් වූ බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
උපයන විට බදු සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් අතර විශාල කනස්සල්ලක් තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, බැංකු නිලධාරින්ට මේ පිළිබඳව දැඩි කනස්සල්ලක් පැවැති බවද කීවේය.
එමෙන්ම ලබන වසරේ පෙබරවාරි 1 දා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කීවේය.
වසර 2028 වන විට නැවත ණය ගෙවීමට සිදු වන බැවින් රට යළි බංකොලොත් වනු ඇතැයි මතයක් රටේ පවති. 2028 වන විටත් තිබෙන්නේ අපේ ආණ්ඩුවක් බැවින් යළි කිසි දිනක 2022 – 2023 වැනි තත්ත්වයක් රටේ ඇතිවීමට ඉඩ නොදෙන බවටත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) කළ සම්පූර්ණ කතාව මෙසේය.
ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පිළිබඳ පැය තුනක විවාදයක් පෙරේදා පැවැත්වුණා. ඒ විවාදයේදී වර්තමාන ණය ප්‍රතිව්‍යුහගත කිරීම දක්වා වූ ගමන් මාවතත්, එහිදී අත්පත් කරගෙන තිබෙන කාර්යභාරයන් පිළිබඳව විවාදයේදී සාකච්ඡා වුණා. ඒ නිසා මා දීර්ඝ පැහැදිලි කිරීමකට යන්නේ නැහැ. 2028 වන විට අපට ණය ගෙවීමට සිදුවෙනවා. ඊට පස්සේ අපේ රට නැවත බංකොලොත්භාවයට යනවා කියා නැවත සමාජයේ මතවාදයක් ඇති කරන්න උත්සාහ කරනවා. 2028 තිබෙන්නේත් අපේ ආණ්ඩුව බව මතක තබාගන්න. මේ රට යළි කිසිම දිනක, අනාගතයේ, 2022 -2023 වගේ තත්ත්වයක් රටේ යළි ඇතිවීමට අප ඉඩ දෙන්නේ නැහැ.
අපේ අපේක්ෂාව තමයි 2028 වන විට අපේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම. අපට ශක්තිමත් විශ්වාසයක් තිබෙනවා ඒ වන විට ඩොලර් බිලියන 15.1ක විදෙස් වත්කම් ප්‍රමාණයක් අපට උපයා ගන්න පුළුවන් වේවි කියලා.
ඒ වගේම මා දැක්කා මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට බොහෝ අය කතා කළේ උපදේශාත්මකවයි. තොරතුරු ඉදිරිපත් කිරීම් කළා. අද අප ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කර තිබෙන ඩොලර් බිලියන 12.55ත්, එයට ගෙවන්න සිදුවී තිබෙන පැහැර හරින ලද ණය ඩොලර් බිලියන 1.7ක් අප ප්‍රතිව්‍යුහගත කිරීමකට භාජනය කළා. මේ ඩොලර් බිලියන 12.5න් ඩොලර් බිලියන 11.5ක්ම 2015-2019 ආණ්ඩුව කාලයේ ලබා ගත් ණයයි. අද ඔය උපදේශාත්මක හඬින් කතා කරන අය එදා උපදෙස් දුන්න නම් මේ රට මේ විදිහට බංකොලොත් වෙන්නේ නැහැ. ඒ නිසා උපදෙස් ප්‍රමාද වැඩියි. නිශ්චිත මොහොතේ උපදෙස් ලබාදීම තමයි උපදේශනවල වටිනාකම වෙන්නේ. ඒ නිසා දැන් ලබා දෙන උපදෙස් වලංගු වන්නේ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දෙවන සමාලෝචනය අවසන් කර දෙවෙනි වාරික මුදල නිදහස් කර ගෙන තිබුණා. අපි බලය අත්පත් කරගන්නා විට තුන්වන සමාලෝචනය පමා වී තිබුණේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ සැප්තැම්බර් මාසයේ. මැතිවරණයක් පැවැත්වෙන වෙලාවේදි ඔවුන් තුන්වන සමාලෝචනයට සූදානම් වුණේ නැහැ. ඒ අනුව මහමැතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් 16 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තුන්වන සමාලෝචනය ආරම්භ කළා. දෙවන සමාලෝචනයේදී පුරෝකථන එකඟතා ගණනාවක් තිබුණා පැවති ආණ්ඩුව එළඹ ගත්. එකක්, ආරෝපිත පොලී ආදායම මත පදනම්ව දේපළ මත බදු පැනවීම. මේ බද්ද 2025දී පැනවීමට දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබෙනවා. සේවා අපනයනය මත 30%ක සංස්ථාපිත බද්දක් ඇති කිරීමට දෙවන සමාලෝචනයේදී එකඟ වී තිබුණා. ජනවාරි මාසය වන විට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර එය එකතු කළ බද්ධ මත ආදේශ කිරීම යෝජනා කර තිබුණා. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හරහා තමයි අපේ රටේ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමට බදු පැනවීම, බදු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදු කරන්නේ. නමුත් දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබුණා එම බද්ද අහෝසි කර ඒ වෙනුවට වැට් බද්ද පනවන්න. ඒ වගේම පෞද්ගලික ආදායම් මත බදු රහිත සීමා ඒ විදිහටම පවත්වා ගෙන යන්න තමයි එකඟතාව තිබුණේ.
2025 වසරේ අප්‍රේල් මාසය වන විට සරල කරන ලද එකතු කිරීමේ අගය මත බද්ද, සෙස් වැට් එක ඉවත් කිරීමටත් දෙවන සමාලෝචනයේදී එකඟතාවකට පැමිණ තිබුණා. අපේ රටේ ව්‍යාපාරිකයන්ට වැට් නැවත අය කර ගැනීම (Refund) සඳහා දුෂ්කර කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ සෙස් වැට් එක හරහා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වන කෑෂ් ෆ්ලෝ (Cash flow) එක පවත්වාගෙන යෑමේ හැකියාව තිබුණා. නමුත් ඒ ඉවත් කිරීමට යෝජනා සකස් කර තිබුණා.
අපේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීමට යෝගට් සහ කිරි නිෂ්පාදන සඳහා එකතු කළ අගය මත බද්ද නිදහස් කරන්න තීරණය කළා. පසුගිය රජය පනවා තිබුණු සේවා අපනයනයට 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට එකඟ වුණා. රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10%ක් දක්වා වැඩි කිරීමට එකඟතාවකට ආවා. සාමාන්‍ය වැඩිහිටි අය, විශ්‍රාමිකයන්, යම් මුදල් ප්‍රමාණයක් තැන්පත් කර පොලියෙන් ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂ එකහමාරක් මාසයක පොලිය වැටුණොත් තමයි ඒ අය බද්දට හසු වෙන්නේ. ඕනෑම පුරවැසියකුට මේ බද්දට තමන් ඇතුළත් නොවේයැයි කියා උපකල්පනය කරනවා නම් ඔවුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කර තමන් ඒ බද්දට ඇතුළත් වීම වළක්වා ගන්න පුළුවන්.
ඒ සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් ස්ථාපිත කරනවා, තමන්ගේ බදු තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට. මෙහි අපේක්ෂාව වී තිබෙන්නේ විශ්‍රාමිකයන් සහ මුදල් රඳවා ගැනීමෙන් ආදායම් ලබන පුද්ගලයන්ට සහන ලබා දීමටයි. මේ නිසා කිසිවකුට අගතියක් ඇති වන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් අපි අපේක්ෂා කරන්නේ බදු දැල සඳහා බදු යන්ත්‍රණය පුළුල් කිරීමටයි.
අපේ රටේ වාහන වෙළෙඳපොළ ක්‍රමානුකූලව විවෘත කරන්න සැලසුම් කර තිබෙනවා. එයත් එක්ක ගොඩනැඟුණු කර්මාන්තයක්ද ව්‍යවසායකයන්ද සිටිනවා. ඒ නිසා මේ වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. එම නිසා කාණ්ඩ තුනකින් වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කරනවා. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන මෝටර් රථවාහන පසුගිය 14 වැනිදා ආනයනය කිරීමට විවෘත කළා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථවාහන ආනයනය ලබන වසරේ පෙබරවාරියේ සිට සිදු කරනවා. මේ නිසා ඩොලර් අර්බුදයකට මුහුණ දෙයි කියා කවුරුත් සැකයක් තියා ගන්න එපා. මහ බැංකුව සමඟ අප දීර්ඝ සාකච්ඡාවක් කර මේ වාහන ආයනයනය සඳහා පිටමන්ව යන ඩොලර් ප්‍රමාණය පිළිබඳ යම් ඇස්තමේන්තුවක් කර තිබෙනවා. එය කොතරම් ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවද කියා අපි සොයා බලා තිබෙනවා. නමුත් අපේ ආර්ථිකය යළිත් උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ විවෘත කළ යුතුයි.
පරාටේ නීතිය දෙසැම්බර් මාසේ පහළොස් වැනිදා අවසන් වීමට තිබුණා. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තවමත් ප්‍රකෘති තත්ත්වයට පැමිණ නැති නිසා එය අප තවදුරටත් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ අධ්‍යයනයේදී හෙළිදරවු වුණේ ණයගැතියන්ගෙන් 99%ක්ම රුපියල් මිලියන 25කට වඩා අඩු ණය පැහැර හරින්නන් බවයි. ඒ නිසා අප සැලැස්මක් සකස් කළා. පරාටේ නීතිය මුළුමනින්ම අත්හිටුවා තිබීම බැංකු පද්ධතියේ අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ජනතාවගේ මුදල් බැංකු පද්ධතියේ තිබෙන නිසා බැංකු පද්ධතිය ආරක්ෂාව අප සහතික කළ යුතුයි. විශාල මූල්‍ය ආයතන පද්ධති කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වුණා.
තැන්පත්කරුවන් සියදිවි නසා ගත්තා. ඒ නිසා මූල්‍ය ආයතන කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට මුහුණ දුන්නේ ජනතාවයි. එම නිසා අප තීන්දු තීරණ ගැනීමේදී බැංකු පද්ධතිය ආරක්ෂා කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම යන කාරණා දෙකම සැලකිල්ලට ගෙන කටයුතු කර තිබෙනවා. ඒ නිසා පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරනවා. බැංකු සහන ණය හිමියන් සමඟ සාකච්ඡාවේදී තමන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලසීමාවක් ලබා දී තිබෙනවා. හිඟ පොලිය සහ ණය මුදල රුපියල් මිලියන 25ත් 50ත් තිබෙන අයටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා බැංකුව සමඟ සාකච්ඡා කළ හැකියි. හිඟ පොලිය හැර ණය මුදල රුපියල් මිලියන පනහකට වැඩි අයට 2025 ජුනි මාසය දක්වා කාලසීමාව දිගු කිරීමටත් ඊට ප්‍රථම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැමිණීමටත් ඔවුන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
එළඹෙන අය-වැය ලේඛනයේදී මේ අයට යම් සහන ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අය-වැය ලේඛන යෝජනා ලබන අප්‍රේල් මාසයේ ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සමහර ඒවාට නීති සම්පාදනය කිරීම අවශ්‍යයි. විශ්‍රාමිකයන්ට එතෙක් ලබා දුන් දීමනාව අප ඔක්තෝමබර් මාසයේ සිට රු. 3000කින් වැඩි කළා. පොහොර සහනාධාරය 25,000ක් දක්වා වැඩි කළා. එම පොහොර සහනාධාරය කිසිම ප්‍රමාදයක් නැතිව ගොවි ජනතාවට ලබා දීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා.
මුදල් නැතිකම නිසා පාසල් නොයන දරුවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට මෙවර අය-වැය මඟින් මුදල් වෙන් කර තිබෙනවා. එම දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අස්වැසුමට එක් නොවුණු ප්‍රතිලාභ ලැබිය යුතු දරුවනුත් මේ සඳහා එකතු කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
අස්වැසුම කාණ්ඩ හතරකට ලබා දීමට සැලසුම් කර තිබුණා. ඉන් ලක්ෂ අටක් මේ දෙසැම්බර් මාසේ තිස් එක් වනදා අස්වැසුම ව්‍යාපෘතියෙන් එළියට වැටෙන්න නියමිතව තිබෙනවා. අපි එම කාණ්ඩ දෙකෙන් යටම කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම මාර්තු මාසය දක්වා දීර්ඝ කළා. අනිත් කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ලැබීම ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කළා. අස්වැසුම ලැබෙන අයත් අස්වැසුම නොලැබෙන අයත් අතර මතයක් ගම්වල තිබෙනවා. එනිසා අස්වැසුම නැවත සමාලෝචනය කළා. පද්ධතිය හරහා ලබා ගන්නා තොරතුරු නැවත පරීක්ෂාවට ලක් කර අස්වැසුම දැනට නොලැබෙන එහෙත් ලැබිය යුතු කොටස් පිළිබඳ සොයා බලා අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.
අපේ රටේ අස්වැසුම ලබා දීමට තීරණය කළේ බැංකු හරහායි. සාමාන්‍යයෙන් අපේ රටේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න හැඳුනුම්පතක් අවශ්‍යයි. අස්වැසුම ලැබිය යුතු පවුලක් වුණත් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට හැකියාව නොලැබීම හේතු කරගෙන වසර එකහමාරක් අස්වැසුම නොලැබී තිබෙන ජනතාවකුත්
සිටිනවා. මේවා පාලකයන් ඉතා සමීපව සොයා බලා විසඳන්න ඕනෑ ප්‍රශ්න නොවෙයිද? ඒ අයට හැඳුනුම්පතක් නැතිව බැංකු ගිණුමක් විවෘත කිරීමට කාලය ලබා දීමට අප තීරණය කළා. හැඳුනුම්පත ලබා ගන්නා දවසේ සිට නොවෙයි ඔහුට
හිමිකම හිමි දවසේ සිට ලබා දීමට අප කටයුතු කරනවා. අපේ අය-වැය විවාදය නිමවෙන්න තිබෙන්නේ මාර්තු මාසේ 21 වන දිනයේයි.
අස්වැසුම පනතේ සංශෝධන ගණනාවක් තිබෙනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය ද බලාපොරොත්තු වෙනවා යැයිද පැවසීය.