කඳුකර කොටියා මරා හිස-පාද කපන් ගිහින්-දඩයම්කරුවකුගේ වැඩක්දැයි සැකයක්

මන්දක් අටවා කඳුකර කොටියකු ඝාතනය කර එම කොටියාගේ හිස සහ පාද හතර කපාගෙන ගොස් ඇතැයි බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසයි.

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතුයායේ ළඳු කැළෑවක මියගිය කොටියකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් හැටන් පොලිසියට ඊයේ (18) දින ලබාදුන් දැනුම් දීමක් මත පොලිස් නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

හැටන් පොලිසියේ නිලධාරීන් සහ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් කොටියාගේ සිරුර සොයාගත් අවස්ථාවේ කොටියාගේ හිස සහ පාද හතර තිබී නැත. ඒවා කිසියම් අයෙක් විසින් කපාගෙන ගොස් තිබී ඇත.

වනජීවී නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් විශ්වාසකරනුයේ මෙම කොටියා මරා දමා සිරුරේ කොටස් කපාගෙන ගොස් ඇත්තේ දඩයම්කරුවෙක් විසින් බවය.

මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 10ක් පමණ වයසැති හොඳින් වැඩුණු කඳුකර කොටියකු බවත්, කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා රන්දෙණිගල වනජිවි පශුවෛද්‍ය රෝහල වෙත යොමු කරන බව ද වනජීවි නිලධාරියෙක් පැවැසීය.