චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කළ මජින්ත ජයසිංහ මහතා එරට ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත බීජිං හිදී අක්තපත්‍ර පිළිගන්වා තිබේ.
එහිදී තානාපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ශ්‍රී ලංකාවාසීන්ගේ සුබපැතුම් චීන ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙන අතර, ෂී ජින්පිං මහතා ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ ජනතාවට සිය සුබපැතුම් එක්කර තිබේ.
තානාපති මජින්ත ජයසිංහ මහතා 1998 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වූ අතර, මහජන චීන සමූහාණ්ඩුවට පත්වීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඔස්ට්‍රියා ජනරජයේ තානාපතිවරයා ලෙස කටයුතු කර ඇත. ඔස්ට්‍රියාවේ සේවය කරන අතරතුර ඒ මහතා ඔස්ට්‍රියාවේ එක්සත් ජාතීන්ගේ ආයතනවල නිත්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කර තිබේ. ඊට සමගාමීව ස්ලෝවැක් ජනරජය, ස්ලෝවේනියා ජනරජය, චෙක් ජනරජය, හංගේරියාව, සර්බියා ජනරජය සහ බොස්නියා සහ හර්සගොවිනා රටවල තානාපතිවරයා ලෙස ද ප්‍රතීතනය කර තිබිණි.
විදේශ සේවයේ සිය වෘත්තීය ජීවිතය තුළ තානාපති ජයසිංහ මහතා ප්‍රොටෝකෝලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, අමාත්‍යාංශයේ මෙන්ම බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල විවිධ තනතුරු දැරුවේය. ඊට අමතරව ෂැංහයි සහ මැලේසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් ද කටයුතු කළේය.
තානාපති මජින්ත ජයසිංහ මහතා එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර, කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.