විපක්ෂ නායකගෙන් කථානායකට සුබපැතුම්-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ව්‍යවස්ථාදායකයේ අයිතීන් ආරක්ෂා කර වඩා ප්‍රශස්ත සේවාවක් ජනතාව වෙත ළඟා කරලීමේ ගමනේදී කථානායකවරයා සතුව සුවිශේෂ කාර්යභාරයක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් 225 දෙනාටම ගුණාත්මක මහජන සේවාවක් ඉටු කිරීමේදී කථානායකවරයා සතුව සුවිශේෂ වැඩ කොටසක් ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම මන්ත්‍රීවරයකුගේම අදහස් හා යෝජනාවලට එක හා සමානව සවන් දී ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ප්‍රධාන පුරුකක් බවට කථානායකවරයා පත්වන බවත් හිටපු කථානායකවරයා මෙන් නොවී ශක්තිමත්ව කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා බැවසීය.

එමෙන්ම කථානායකවරයකුට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සිදු නොවේවා කියා තමන් ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සුබපැතුම් පිරිනමමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.