දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි දඹුල්ල මහනගර සභාව සතු ප්‍රධාන මාර්ගයේ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ගෙන්වන ලද ලොකු ලූනු සහ අර්තාපල් අල කන්ටේනර් රථ මත තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මහ මඟ ගමන් කරන ගොවි ජනතාවට සහ අනෙකුත් ජනතාවට දවස පුරා දැඩි හිරිහැරවලට ලක්වන බව ඔවුහු පවසති. මේ පිළිබඳව දඹුල්ල පොලීසිය මහනගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය සහ මෙම ස්ථානයේ වෙළෙඳාම් කරන ගනුදෙනුකරුවන් දැනුම්වත් කළ ද කිසිදු අවස්ථාවක ඊට කිසිදු අවනතක් සිදු නොවන බව ජනතාව පෙන්වා දෙති.
බැරිම තැන මෙම ප්‍රදේශයේ ජනතාව ඊයේ (17) උදෑසන මෙම බරපතළ ප්රශ්නය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කරමින් මේ පිළිබඳව රට දැනුම්වත් කරන ලෙසත් මෙම ජාවාරම හේතුවෙන් එක්පසෙකින් රටකට හිමිවිය යුතු බදු මුදල් අහිමිවීම, මහමඟ ජනතාවට ගමන් කිරීමේ අයිතිය අහිමිවීම, මාර්ග නීති අමුඅමුවේ උල්ලංඝනය කිරීම පාකිස්තානය සහ ඉන්දියාවෙන් පැමිණි බායිලා නමින් හඳුන්වන කිහිපදෙනකු තවත් තැරැව්කරුවන් කිහිපදෙනෙකු සමඟ විශාල වෙළෙඳාමක් මහ මඟ සිදුවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
මෙම මාර්ගය දඹුල්ල මහ නගර සභාවට ගැසට් මඟින් පවරාදී ඇති පොදු මහජනතා මුදලින් ඉදිකරන ලද්දක් බව ද ජනතාව පෙන්වා දෙති. කිසිදු ඉවක් බවක් නොමැතිව ව්‍යාපාරිකයන් මහ මඟ දෙපස කන්ටේනර් රථ නවතා මඟ මැද අනෙකුත් මිලදී ගැනීම සඳහා පැමිණෙන ලොරි නවතා ඒවාට පටවා ලොරි තුළම කිරමින් මුදල් ලබාගෙන පිටත්කර හැරීම සිදුවන බවත් රථවාහන නීති අමුඅමුවේ උල්ලංඝනය කරයි. මාර්ගයේ නීති මෙසේ අමුඅමුවේ උල්ලංඝනය කරද්දී දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ නගර සභා නීති රීති උල්ලංඝනය කරමින් අඩුම තරමේ රටට එන බදු මුදල් පවා අහිමි කරමින් ඔවුන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබාදී ඇත්තේ කාගෙන්දැයි මහ මඟ ගමන් කරන ජනතාව විමසති. මෙම මාර්ගයේ රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාට දැනුම්වත් කිරීමෙන් පසු ඒ මහතා පවසා සිටියේ කඩිනමින් තම අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරවන බවයි.
දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් චතුරිකා නවරත්න මහත්මියගෙන් මෙම පිළිබඳව විමසීමේදී ඇය පවසා සිටියේ මහ මඟ එවැනි ගනුදෙනුවක් සිදුවනවා ද නැද්ද යන්න තමන්ට නිසි ලෙස අවබෝධයක් නොමැති බවයි.
මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ මෙම මාර්ගය දඹුල්ල මහනගර සභාව සතු නිසා ඒ අය සමඟ සාකච්ඡා කර ඊට විසඳුමක් ලබා දීමට හැකි බවය.