දේශීය ගොවියා ව්‍යව­සා­ය­ක­යකු කරන ගොවි සමා­ගම් හදනවා-ඇමැති කේ.ඩී. ලාල්කාන්ත

වත්මන් රජය සැමවිටම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන ව්‍යාපෘති හා මූල්‍යාධාර මඟින් දේශීය ගොවියා ව්‍යවසායකයකු බවට පත්කෙරෙන ගොවි සමාගම් මෙරට ස්ථාපනය කිරීමට බව කෘෂිකර්ම, පශූසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී විවිධ ව්‍යාපෘති මෙරටට ලැබුණත් එමඟින් බහුජාතික සමාගම් පෝෂණය කිරීම සිදුවූ අතර එහිදී දේශීය ගොවි ජනතාවට ප්‍රතිලාභයක් නොලැබුණු බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේ ,ලෝක බැංකු සහ යුරෝපා සංගමයේ මූල්‍යාධාර මත 2018 වසරේදී ආරම්භ කරන ලද කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ පළමුවන සහ දෙවන අදියරයන් නිමා කිරීමේ උත්සවයට සහභාගීවෙමිනි.

ඇමැතිවරයා එහිදී මෙසේ ද පැවසීය.

“අප රජය සැමවිටම උත්සාහ කරන්නේ මෙරටට ලැබෙන ව්‍යාපෘති හා මූල්‍යාධාර මඟින් දේශීය ගොවියා ව්‍යවසායකයන් කරමින් ගොවියන්ගේ සමාගම් මෙරට ස්ථාපනය කිරීමයි. ඒ වගේම මේ අවස්ථාවේදී මා මතක් කරන්න කැමැතියි මෙරට බහුතර ජනතාවට හා ගමේ ගොවි ජනතාවට හිසරදයක්ව පවතින වගා හානි කරන සතුන් පිළිබඳ ඉතා ඉක්මනින් පියවරක් ගන්නවා කියලා.

රට පුරා වෙසෙන ගොවීන් අතරින් විවිධ අංශ දහයක් යටතේ එක් එක් පළාතට ආවේණික භෝග වර්ග හඳුනාගෙන මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට කැමැත්තක් දැක්වූ ගොවීන්ට නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම සිදු කරන ලදි. එම ක්‍රම උපයෝගී කරගෙන, අඩු ඉඩම් වපසරියක් යටතේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම ද, එම අස්වැන්න අපනයන ඉලක්කයන් සපුරා ගැනීමට අවැසි නව තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කිරීමට අවැසි දැනුම ගොවියන් වෙත ලබා දීම ද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලදි. එමඟින් අපනයන තත්ත්වයේ වඩා වැඩි අස්වැන්නක් ලබා ගනිමින් ගොවියන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීම මෙන්ම අප රටට විදේශ විනිමය සැලකිය යුතු මට්ටමකින් ලබා ගැනීම ද කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අරමුණු වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා දායකවූ ප්‍රතිලාභීන් අතරින් විවිධ අංශ යටතේ සාර්ථක ව්‍යවසායකයන් බවට පත් වූ ගොවීන් වෙනුවෙන් අමාත්‍යවරයා අතින් මෙහිදී සම්මාන සහතික පිරිනැමිණි.

ලෝක බැංකු සහ යුරෝපා සංගමයේ නියෝජිතයන්, අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරු ද, අමාත්‍යාංශ නිලධාරීන් ද, මෙම ව්‍යාපෘතිය මඟින් සාර්ථක ව්‍යවසායකයන් වූ ගොවි මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.