ජනපති අරමුදල අවභාවිත කරලා

ඇමැති නලින්ද දේශපාලක නම් ලැයිස්තුව මැතිසබයේ දිගහරී

දයාසිරි ජයසේකර
පියසේන ගමගේ
පී. හැරිසන්
ජෝන් අමරතුංග
පී. දයාරත්න
එස්.ඊ. මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
සරත් අමුණුගම
එස්.බී. නාවින්න
රාජිත සේනාරත්න
කෙහෙළිය රඹුක්වැල්ල
රංජිත් සොයිසා
දි.මු. ජයරත්න
සුමේධා ජයසේන
පියල් නිශාන්ත
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය
විදුර වික්‍රමනායක
ජගත් කුමාර
කේ.පී.එස්. කුමාරසිරි
ජයලත් ජයවර්ධන
නාමල් ගුණවර්ධන
ධර්මදාස බණ්ඩා
විමලවීර දිසානායක
ලකී ජයවර්ධන
පී. චන්ද්‍රසේකරන්
මනෝජ් සිරිසේන
ජෝෂප් මයිකල් පෙරේරා
ටී.බී. ඒකනායක
ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා
ජයන්ත වීරසිංහ
ඇලික් අලුවිහාරේ
රංජිත් අලුවිහාරේ
එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන

ජනාධිපති අරමුදල ස්ථාපිත කිරීමේ අරමුණු ඉටු කිරීම වෙනුවට, 2005-2024 වකවානුවේදී මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනාම අත්තනෝමතික ලෙස දේශපාලකයන්ගේ අසනීප තත්ත්වයන් වෙනුවෙන් අරමුදලේ මුදල් දී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාදය අනිසි ලෙස අවභාවිත කරමින් මෙම මුදල් ලබා ගැනීම් සිදු කර ඇති අතර මීට‌ අදාළ නාමලේඛනය ද ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

රෝගී තත්ත්වයක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් සහනයක් ලබා ගැනීමේදී සාමාන්‍ය ජනතාවට දැඩි ලෙස රස්තියාදුවීමට සිදුවුවද ඇතැම් දේශපාලකයන් වෙනුවෙන් ලක්ෂ තුන්සීය, ලක්ෂ එකසිය අසූඅට, ලක්ෂ එකසිය දොළහ, ලක්ෂ එකසිය අට වැනි මුදල් ප්‍රමාණයන් නිකුත් කර ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

2022 වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට 2024 සැප්තැම්බර් 30 වැනිදා‌ දක්වා වකවානුව තුළ අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම ලක්ෂ 121ක් වන අතර ජාතික රෝහල ඇතුළු රෝහල් පද්ධතිය ආසන්නව පිහිටා ඇති අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම පුදුමසහගත බව ද හෙතෙම පැවසීය. අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.

978 අංක 07 දරන ජනාධිපති අරමුදල් පනත සම්මත කරන විට බොහොම පැහැදිලිව උදවු කළ යුතු අංශ ගණනාවක් සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අරමුදලට අයත් මුදල් වියදම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන්, දරිද්‍රතාව, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, ආගම නංවාලීම හෝ වත්පිළිවෙත් පවත්වාගෙන යෑම සඳහා, ජනාධිපතිවරයා හෝ මණ්ඩලය තීන්දු කරන වෙනත් යම් කාර්යයන් වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් යම් යම් සේවාවන් කරන අය වෙනුවෙන්. මේ වගේ අරමුණු වෙනුවෙන් තමයි මෙම අරමුදලේ මුදල් භාවිත කළ හැක්කේ.

නමුත් මා සතුව ලේඛනයක් තිබෙනවා. 2005-2024 වකවානුව තුළ ජනාධිපති අරමුදලින් වෙන් කිරීම් පිළිබඳ ගෙවීම් සිදු කර ඇති ආකාරය පිළිබඳ එහි සඳහන් වෙනවා.

ජනාධිපති අරමුදලින් ආධාර ලබාගත් ලැයිස්තුවක් තමයි මම මේ කියන්න හදන්නේ. ගමක කෙනකුට හෘද සැත්කමක් හරි, පිළිකාවක් වෙනුවෙන් හරි මේ අරමුදලින් ආධාර ගන්න ගියාම මොන තරම් දුෂ්කරද කියලා ඔබතුමාලා දන්නවා. නමුත් පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජී. ජයසේන, මනෝජ් සිරිසේන, පී. දයාරත්න, එස්.සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්.බී. නාවින්න මේ ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් අයගෙන් කොටසක්. මේ අයගේ නම් පැහැදිලිව තිබෙනවා.

තවත් අයගේ නම් පැහැදිලිව සොයා ගැනීම අපහසුයි. එක නමක් තිබෙනවා, ජේ.පී.ඩී.පී.කේ. දයාසේකර. එතන තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කියලයි. ජයසේකර කවුද? අපි දන්න ජයසේකර එක්කෙනයි. දයාසිරි පද්මකුමාර ජයසේකර විය යුතුයි. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ එච්.එන්.ඩී.පී. සිල්වා, පියල් නිශාන්ත තමයි මේ. එස්.ඒ.ඩී. ප්‍රේමජයන්ත කවුද මේ. සුසිල් ප්‍රේමජයන්ත. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී. ඒ වගේම බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුරු දේවප්‍රිය ධර්මසේන පෙරේරා මහතා.

තව ඉන්නවා. එස්.ඒ. ජගත් කුමාර. ලක්ෂ දහයක් ලබාදී තිබෙනවා. ‌කේ.පී.එස්. කුමාරසිරි. 2022 මුදල් ලබාදී තිබෙන්නේ. නවලක්ෂ ගාණක් ලබාදී තිබෙනවා. ජයලත් ජයවර්ධන, ලක්ෂ දහයක්. නාමල් ගුණවර්ධන, ලක්ෂ දහයක්. ධර්මදාස බණ්ඩා, ලක්ෂ දහයක්. විදුර වික්‍රමනායකට ලක්ෂ පහළොවක් දී තිබෙනවා. විමලවීර දිසානායකට ලක්ෂ තිහක මුදලක් දී තිබෙනවා. ලකී ජයවර්ධන ලක්ෂ දාසයක්. පී. චන්ද්‍රසේකරන්ට ලක්ෂ දාහතරක්. ජෝන් අමරතුංගට 2014දී ලක්ෂ හතළිහක්. ජෝසප් මයිකල් පෙරේරාට ලක්ෂ විසිහතක්. ටී.බී.ඒකනායකට ලක්ෂ 48ක්, ඩබ්ලිව්.එම්.එස් ෆොන්සේකාට ලක්ෂ 55ක්. මේ සරත් ෆොන්සේකා නෙවෙයි. ජයන්ත වීරසිංහ 2022 වසරේදී අරන් තිබෙන්නේ. මහින්ද රාජපක්ෂගේ නීති උපදේශකට ලක්ෂ අනූවක් දී තිබෙනවා. ඇලික් අලුවිහාරේ,

රන්ජිත් අලුවිහාරේ, ලක්ෂ අටක්. අලුවිහාරේ පරම්පරාවම බෙහෙත් අරන් තිබෙන්නේ ජනාධිපති අරමුදලින්. රාජිත සේනාරත්න ලක්ෂ සීයක්. කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ 110ක්. අර හෝටලයේ කාමරයෙන් කාමරයට පනින්න ගිහිල්ලා, මේ තිබෙන්නේ වෛද්‍ය ප්‍රතිකාරවලට වියදම් කරපුවා. එම්.කේ.ඩී.එස් ගුණවර්ධනට ලක්ෂ 112ක්. රන්ජිත් සොයිසාට ලක්ෂ 188ක්. දිමූ ජයරත්න ලක්ෂ තුන්සීයක්.

මේ ජනාධිපති අරමුදලේ මුදල්. එතකොට අපේ ගමක කෙනෙක් ලක්ෂ දෙක තුන ගන්න මොන තරම් දුකක් විඳින්න ඕනෙද? මේ මොන කාණ්ඩ යටතෙද? එහෙම තමයි ජනාධිපති අරමුදල භාවිත වී තිබෙන්නේ. ජනාධිපති අරමුදලේ සභාපතිවරයා වෙන්නේ ජනාධිපතිවරයා.

2005 සිට 2024 දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරුන් 4 දෙනාම සභාපතිවරු ලෙස කටයුතු කළා. මේ පාර්ලිමේන්තුව, ජනතාව මේ දේවල් දන්නේ නැහැ. මේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්න තිබුණු මුදල්. අපි මේ දේවල් කරන්නේ මුදල් මවලා නෙවෙයි. මහාභාණ්ඩාගාරයේ මුදල් දේශපාලකයන් වෙනුවෙන් කරන දේවල් නතර කරලා ඒ මුදල් මේ රටේ ජනතාව වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් යොදවනවා.

2022 සැප්තැම්බර් 01 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් මෙන්න. ලක්ෂ 121ක් අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම්. ඒවා තමයි වත්මන් අගමැතිවරිය නතර කළේ. කවුද මේවා වියදම් කළේ. දිනේෂ් ගුණවර්ධන. කොතනද අගමැති කාර්යාලය තිබෙන්නේ. ජාතික රෝහලට කොච්චර දුරද? මේවා නතර කරන්න තමයි ජනතාව අපිට බලය දුන්නේ. පොල් කන්න නෑ, හාල් කන්න නෑ කිව්වට මේකේ යට තිබෙන්නේ හොරා කන්න නෑ කියන එකයි.