සූකර උණෙන් කඩාවැටුණු කර්මාන්ත ගොඩගන්න සහනාධාර

සූකර උණ හේතුවෙන් කඩාවැටුණු ඒ හා සම්බන්ධ කර්මාන්ත යළි නඟාසිටුවීම සඳහා සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසුවේය.

නැවත සිය කර්මාන්ත වර්ධනය කර ගැනීමට දෙන ණය සහනය වාර්ෂික මෙන්ම දෙවාර්ෂිකව ගෙවා නිදහස් කරගත හැකි අන්දමට සකස් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින අසීරුතාව සලකා බලා රාජ්‍ය අනුග්‍රහය මත ගොවිපොළවලට සූකර පැටවුන් ලබාදීම සඳහා අදාළ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව ද හෙතෙම පැවසුවේය.

අදාළ කර්මාන්තයට අදාළ සියලු පාර්ශ්ව සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

බත්තරමුල්ල ගොවිජන මන්දිරයේදී පෙරේදා (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළේය.

සූකර උණෙන් මියගිය සූකර සිරුරු ඉවත් කිරීමට මෙන්ම විෂබීජහරණය සඳහා අදාළ ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතනවල සහයෝගය සූකර ගොවීන්ට හා කර්මාන්ත හිමිකරුවන්ට ලබා දෙන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී කීවේය.

කූට ව්‍යාපාරිකයන් මියගිය රෝගී සූකර මාංස තවමත් ව්‍යාපාරික ස්ථානවල සඟවා අවස්ථානුකූලව අලෙවි කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබෙන බවත් මේ තත්ත්වය ජනතාවට ඉතා අවදානම් බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.