ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කරගැනීම සඳහා, කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබාගත හැකි, නවීන තාක්ෂණයෙන් යුතු ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිත කරන, 04 වැනි පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා, අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයෝ දෙදෙනෙක් පෙරේදා (16) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.
අන් ජින්සොක් (An Jinseok) සහ සොන්ග් ජේ හෝ (Song Jae Ho) එම ආයෝජකයන් දෙදෙනා වන අතර, ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මවු සමාගමට අයත් සමාගම් 68ක් ලොව පුරා පවතින බව ගුවන්තොටුපොළේ දී අනාවරණය කළේය.
මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම අන්තරායක විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන අතර, මිනිස් පරිභෝජනයට ඉතා හිතකර වීම විශේෂත්වයකි.
එසේම මෙම පොහොර මිල ගණන් සාපේක්ෂ වශයෙන් දැනට භාවිත කරන 01 වන හෝ 02 වැනි පරම්පරාවේ පොහොර මිල ගණන්වලට වඩා අඩු මට්ටමක පවතින අතර, ඒවා ගොවිබිම තුළට ඩ්‍රෝන තාක්ෂණය මඟින් ඉසීම සිදු කළ හැකිය. එමඟින් වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගැනීම සඳහා අඩු පොහොර ප්‍රමාණයක් යෙදීම ද විශේෂත්වයකි.
මෙම ආයෝජකයන් දෙදෙනා දැනට ශ්‍රී ලංකාවට වසර 03ක සිට දකුණු කොරියාවේ සිය නිෂ්පාදිත පොහොර සැපයීම සිදු කරමින් පවතින අතර, මෙතැන් සිට ශ්‍රී ලාංකේය ආයෝජකයකු වන බුද්ධික හේවගේ මහතා සමඟ එක් වී, දකුණු කොරියාවේ එම පොහොර කර්මාන්තශාලාව, ශ්‍රී ලංකාව තුළ නව කර්මාන්තශාලාවක් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට මෙම ආයෝජකයන් බලාපොරොත්තු වන බව ද පැවසීය.
මේ වනවිට මෙම දකුණු කොරියානු සමාගම, සිය නිෂ්පාදිත 04 වැනි පරම්පරාවේ දියර පොහොර, ලෝකයේ රටවල් 14 ක් වෙත අපනයනය කරන අතර එම ඇණවුම් ද සමඟ, මෙම නව කර්මාන්තශාලාව මෙරට තුළ ස්ථාපිත කිරීමට ඔවුන් අදහස් කර තිබේ.
මීට අමතරව මෙම කර්මාන්තශාලාව තුළ වාහනවලින් පිට කෙරෙන කාබන්මොනොක්සයිඩ් වායුව නිසා, වායුගෝලයට සහ පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම සඳහා, දකුණු කොරියාවේ හයිහුන්ඩායි සමාගම සමඟ එක්ව නිෂ්පාදනය කර ඇති උපකරණ පද්ධතියක් ද නිෂ්පාදනය කර මෙරට වාහන හිමියන් වෙත ලබාදීමට ද මෙම ආයෝජකයන් අදහස් කර තිබේ.
ඒ සඳහා වත්මන් රජයේ කෘෂිකර්ම, පරිසර, ප්‍රවාහන සහ කර්මාන්ත අමාත්‍යවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නව තාක්ෂණික, 04 වැනි පරම්පරාවේ දියර පොහොර සහ වායු දූෂණය අවම කිරීමේ උපාංග කර්මාන්තශාලාව මාතර ප්‍රදේශයේ ස්ථාපිත කර, එහි නිෂ්පාදන ලොව පුරා අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද එම ආයෝජකයෝ දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේ දී පැවසූහ.
මෙම ආයෝජකයන් දෙදෙනා පෙරේදා (16) පස්වරු 04.52 ට දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇති අතර, ඔවුන් දෙදෙනා ශ්‍රී ලාංකේය හවුල්කරුවන් විසින් කටුනායක ගුවන්තොටුපොළ තුළ දී ඉතා උසස් අන්දමින් පිළිගැනීමට පියවර ගෙන තිබුණි.