තරුණයන්ගෙන් හතරෙන් තුනකට මානසික ආතතිය-ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් චින්තක හේවාපතිරණ

අප රටේ තරුණයන්ගෙන් 75%ක් පමණ මානසික ආතතියෙන් පෙළෙන බවත්, ඔවුන් අපේක්ෂා භංගත්වයකින් පසු වන බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ චින්තක හේවාපතිරණ මහතා සඳහන් කරයි. ඔහු මේ බව අනාවරණය කළේ මාතර, කඹුරුපිටිය, සපුගොඩ රතනපාල විද්‍යාලයේදී පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් යොවුන් කඳවුරේ තෙදිනක පුහුණු වැඩසහටහනට එක් වෙමිනි.

තරුණයාගේ පෞරුෂය නඟාසිටුවමින් රටේ ප්‍රගමනය උදෙසා ඔහු දායක කරගැනීමට බොහෝ වැඩ කළ හැකි බවද, ජාතික තරුණ සේවා සභාව නිර්මාණය වන්නේ තරුණ අසහනය නැති කිරීම සඳහා බවද මෙහිදී සඳහන් කළ සභාපතිවරයා ‘අප අලුත් යුගයක මිනිසුන් ලෙස ජාතික පුනරුදයක් නිර්මාණය කරන මිනිසුන් ලෙස පාට, පක්ෂ, වර්ණ භේද, කුල මල භේද සියල්ල අමතක කළ යුතුයි. ඒ තුළ අප නිරත වන්නේ පුළුල් ගමනකයි. තරුණයන්ගේ දක්ෂතා ඇතැම් නිලධාරීන්, සීමා මායිම් තුළ සිර වීම නිසා ඔවුන්ගේ ගමන්මඟ අතරමඟ නතර වනවා. ජාතික තරුණ සේවා සභාව මඟින් තරුණයාට අවස්ථා නිර්මාණය කර දෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් ජනමාධ්‍ය පාසල ළඟදීම ආරම්භ කරනවා. අපේ තරුණයන් බොහෝ විට සූදානම් වන්නේ පහසුවෙන් දේවල් ලබාගන්නයි. එසේ කළ නොහැකියි. යම් වගකීමක් හා යම් වගවීමත් විය යුතුයි. ජාතික තරුණ සේවා සභාව කියා කියන්නේ හොඳ වැඩපිළිවළෙක්. පටු සීමා තුළ මේ ආයතනය සිර විය යුතු නැහැ.” යැයිද පැවසීය. ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්.ඒ. ජයසේකර මහතා ඇතුළු ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහුද සහභාගි වූහ.