හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී සිදුවූ රුපියල් බිලියන 15.9ක සීනි බදු වංචාව ගැන කෙරෙන විමර්ශනයන්ට අදාළව එවකට වෙෙළඳ අමාත්‍යවරයාව සිටි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) පැය 4ක් පුරාවට දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ. රුපියල් 50ක්ව පැවැති ආනයනික සුදු සීනි බද්ධ ශත 25 දක්වා අඩු කරමින් 2020 ඔක්තෝබර් 13 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් ඔස්සේ මෙම බදු වංචාව සිදු කර තිබුණි. මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 16ක පාඩුවක් ඇතිකරමින් සිදුවූ මෙම බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව ද විමර්ශනයක් පවත්වනු ලබයි.
රුපියල් 50ක්ව පැවැති ආනයනික සුදු සීනි බද්ධ ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට විශාල බදු මුදලක් අහිමිකරමින් එවකට පැවැති ආණ්ඩුවට හිතවත් සීනි ආනයනකරුවකු විසින් විශාල ලාභයක් උපයා ගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2021 වසරේ ජනවාරි මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුවේ වෙළඳ, වාණීජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල යන මහත්වරුන්ය.