වතු කම්කරු ජනතාව ඉන්දියාවේ සිට මෙරටට පැමිණ වසර 201ක් ගත වූවත්, එම පිරිස මේ වන විටත් ප්‍රශ්න රාශියක් මත ජීවත්වන පිරිසක් බවට පත්ව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති සුන්දරලිංගම් ප්‍රදීප් මහතා පැවසීය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඉන්දීය රජයේ ආධාර මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු ජනතාව සඳහා ඉදිකළ නිවාසවල ඔප්පු දීමේ වැඩසටහනක් හැටන් තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවති අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මමත් ඉන්දියාවේ සිට පැමිණි ප්‍රජාවගෙන් පැවැත එන පුද්ගලයෙක්. වතු කම්කරුවන් වූ මගේ මවුපියන්ට දාව වත්තේ හැදී වැඩී, ලැයිමේ ජීවත්ව ඇමැතිවරයෙක් දක්වා ඒමට හැකි වුණා. වසර 75ක් පමණ විවිධ අය මෙහි ආණ්ඩු කළත් අදටත් වතු ජනතාව සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත්ව ජීවත් වෙනවා. වතු ජනතාවට ඉඩමක් හෝ නිවෙසක් ගැනීම සිහිනයක් බවට පත්වෙලා තිබුණා. ඒත් එම සිහිනය සැබෑ කර දුන් ඉන්දියානු රජයට මගේ ස්තූතිය පුද කරනවා.”