දක්ෂතාව සහ නිපුණතාව සහිත මානවීය ගුණාංගවලින් හෙබි තාරුණ්‍යයක් නිර්මාණය කරගත යුතු බව තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (15) ජාතික තරුණ සේවා සභාවෙන් පවත්වන ලද සහතිකපත්‍ර ප්‍රදානයට එක් වෙමිනි.
ජාතික තරුණ සේවා සභාවේ බස්නාහිර පළාත් පුහුණු මධ්‍යස්ථාන 10ක සාර්ථක ලෙස පාඨමාලාව අවසන් කළ සහතික පත්‍රලාභී සිසුන් 1,217 දෙනකුට NVQ level 4, NVQ level 5 සහ ඩිප්ලෝමා සහතිකපත්‍ර දීම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදු කළ අතර, සහතිකපත්‍ර දීම සැසිවාර දෙකක් ඔස්සේ සිදු කෙරිණි. පළමු සැසිවාරය සඳහා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න, අධ්යක්ෂ ජනරාල්/ සභාපති නීතිඥ චින්තක හේවාපතිරණ මහත්වරුන් ඇතුළු තවත් උසස් නිලධාරීහු සහභාගි වූහ.
එහිදී සහතිකපත්රලාභී සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජය වෙනුවෙනුත්, අමාත්‍යාංශය වෙනුවෙනුත් ඇමැතිවරයා සුබ පැතුම් එක් කළ අතර, එහිදී වැඩිදුරටත් මෙලෙස ද අදහස් දැක්වීය.
“විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට නොහැකි වන තරුණ තරුණියන්ට රජයේ ආයතනයක් වන ජාතික තරුණ සේවා සභාවෙන් දෙන මේ නිපුණතා සහතිකයේ වටිනාකම ඉතා ඉහළයි. පුද්ගලයකුගේ සමස්තය සහතිකයකින් මැනිය නොහැකි නමුත් සහතිකයක් තිබීමෙන් යම් ක්ෂේත්රයකට අදාළව පුද්ගලයා සතු ප්‍රාමාණික විෂය දැනුම හෝ වෘත්තීය දැනුම වගකීමක් සහිතව සනාථ කිරීමක් සිදු වෙනවා.
ලෝකය ඉදිරියට ගමන් කළේ වෙනස් විදිහට හිතන, වෙනස් විදිහට දකින මිනිසුන් නිසයි. අරමුණු වෙනුවෙන් කරන මැදිහත් වීම සහ අරමුණු හඹා යෑම ජීවිතයට ඉතා වැදගත්. වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයෙහි සඳහන් පරිදි තරුණ තරුණියන් වෙනුවෙන් වටිනාකමින් යුත් වෘත්තීය සහතිකයක් දිය හැකි වැඩපිළිවෙළ ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. එමඟින් විවිධ ක්ෂේත්රවලින් ඉදිරියට යන තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. පොහොසත් රටක් නිර්මාණය කිරීමට වෘත්තීය දක්ෂතාවෙන් සහ නිපුණතාවෙන් යුක්ත මෙන්ම මානවීය ගුණාංගවලින් හෙබි යහපත් සංවේදී තාරුණ්‍ය ඉතා වැදගත්.”