මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජ හිඟයක් මවාපාමින් ඉන්නවා-තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්. ගාමිණී

“මේ රටේ කිසිදු සහල් හිඟයක් නෑ. මහ මෝල්කාරයෝ හා වී තොග සඟවාගෙන සිටින අය ව්‍යාජව සහල් හිඟයක් මවාපාමින් ඉන්නවා. ජනතාව සහල් නැති වේවි කියලා බයට හාල් දැක්ක තැන මිලදී ගන්න පුරුදු වෙලා. වෙනදා සතියට හාල් කිලෝ පහ ගෙනිච්ච කෙනාත් දැන් හාල් වැඩි වශයෙන් මිලදීගෙන ගෙදර එකතු කරගන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මහ මෝල්ලුන්ගේ ගැටවලට හසුවෙන්න එපා. මෙහෙම ගියොත් තෙල්වලට ගෙනාවා වගේ හාල්වලටත් QR එකක් ගේන්න වෙනවායැයි තිස්සමහාරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.එච්. ගාමිණී මහතා පැවසීය.

සහල් හිඟය පිළිබඳ අප කළ විමසීමකදී ඊට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“හැමදාමත් ලංකාවේ සහල් මිල, වී මිල තීරණය කළේ මහ මෝල් හිමියන් දෙතුන් දෙනෙක් විසිනුයි. ඒ අයට මොන මිල පාලන දැම්මත් වැඩක් වුණේ නෑ. හැම ආණ්ඩුවකටම සිදු වුණා ඒ අය කියන මිල ගණන් යටතට එන්න. මේ පාරවුණත් රුපියල් 10කින් හාල් මිල වැඩි කරගන්න ඒ අයට පුළුවන් වුණා. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සහල් නිෂ්පාදකයන් හැමදාමත් මිල පාලනයට යටත්ව තමයි වී මිලදී ගැනීම සිදු කළේ. නමුත් මහ මෝල්ලු මිල පාලනයට ඉහළ ගිහින් වැඩි මිලට රටේ තියෙන වී ටික මිලදී අරගෙන ගබඩා කර ගන්නවා. එහෙම වුණාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වී මිලදී ගන්නේ ඉතා අඩු වශයෙන්. මොකද වැඩි මිලට වී මිලදී අරගෙන මිල පාලනයට යටත්ව සහල් විකුණන්න බැරි නිසා මේ වෙනකොටත් වෙ‍ෙළඳපොළට 60%කට වැඩි ප්‍රමාණයක් හාල් දෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසිනුයි. මේ අය සන්තකයේ විශාල ප්‍රමාණයේ වී තොග නෑ. සුළු හා මධ්‍ය පරිමාණ අය මිලදී ගන්න වී ටික දිනපතා කොටලා වෙළෙඳපොළට නිකුත් කරනවා. මේ අතරේ වී තොග මහා පරිමාණයෙන් රැස් කරලා තියාගෙන ඉන්න අය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ වී තොග ඉවර වෙනකොට තමයි එයාලා වී තොග එළියට දමන්න පටන් ගන්නේ ඔය වී තොග තියාගෙන ඉන්න සමහර අය ළඟත් මෝල්වත් නෑ. ඉතින් මේ මහ මෝල්ලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ළඟ තියෙන වී ටික ඉවර බව දැනගත්ත ගමන් ඔවුන් මේ හාල් ජාවාරම පටන් ගන්නවා. ඔවුන්ට හිතෙන හිතෙන මිල ගණන් යටතේ හාල් විකුණන්න පටන් ගන්නවා. මේක ජාවාරමක්. දැන් මේ වෙනකොටත් වෙ‍ෙළඳපොළ තුළ තියෙන්නේ කෘත්‍රිම සහල් හිඟයක්. මෙහෙම් කෘතිම සහල් හිඟයක් පෙන්වලා එකසැරේම මහ මෝල්කාරයෝ සහල් මිල එක සැරේම ඉහළට ගන්නවා. ඒ කරලා එයාලා ළඟ සඟවාගෙන ඉන්න වී තොග එයාලා සහල් කරලා වැඩි මිලට එළියට දමලා විශාල ලාභයක් ලබනවා. මේ මහ මෝල්කාරයෝ කිසිම තැකීමක් කරන්නේ නෑ, මිල පාලනය පිළිබඳව. ඒක හැමදාම එහෙම තමයි. මේ වතාවේ වුණත් සිදු වුණේ ඒකම තමා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාගේ වී තොග ඉක්මනින්ම ඉවර වුණා. ඉතින් ඒත් එක්කම මහ මෝල්කාරයෝ එයාලගේ වී තොග එළියට දැම්මේ සහල් මිල වැඩි කරගෙන. හාල් මිල වැඩි වෙලා කාලයක් යනකම්ම පාරිභෝගික අධිකාරියත් කටවහගෙන බලාගෙන හිටියා. ඉතින් ඒ කාලේ මේ මහ මෝල් කාරයෝ ටික හා වී තොග සඟවාගෙන හිටිය අය විශාල ලාභයක් ලැබුවා. මෙහෙම යද්දි තමයි ජනාධිපතිතුමා මෝල් හිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්තුවේ. ඒකෙදි වුණේ තිබෙන හාල් මිලට තව රුපියල් 10ක් මෝල් හිමියන් එකතු කර ගත්ත එක. ඒකෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා කබලෙන් ළිපට වැටුණා. නමුත් ඒ පාඩුවත් දරාගෙන තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මිනිස්සුන්ට බත් ටික කන්න, හාල් ටික වෙළෙඳපොළට දැම්මේ. ඉතින් හැමදාම මේ රටේ හාල් මිල වගේම වී මිලත් තීරණය කරන්නේ මෝල් හිමියන් කිහිප දෙනෙක් විසින්. මේක රජය විසින් නැති කළ යුතුයි. වී අස්වනු නෙළන කාලෙට මේ මහ මෝල් හිමියන් වැඩි මිල ගණන් යටතේ මහා පරිමාණයෙන් වී අරගෙන එකතු කරලා තියා ගන්නවා. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මිල පාලනයට යටත්ව වී මිලදී ගෙන ඒවා ගබඩාවල හංගගෙන ඉන්නේ නැතිව වෙළෙඳපොළට දමනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ විතරක් හාල් මිල සම්බන්ධයෙන් ගැසට් 12ක් ගැහුවා. ඒවාගෙනුත් සහන සැලසුණේ ජනතාවට නෙමේ, මහ මෝල් හිමියන්ට විතරයි. ඊට ඉස්සරත් එහෙම තමයි. දැන්වත් මේක නැවතිය යුතුයි. මේ සඳහා රජය මැදිහත් විය යුතුයි. එහෙම නොවුණොත් මේ රටේ බත් කන මිනිස්සුන්ට වේල් තුනක් වෙනුවට බත් කන්න වෙන්නේ එක වේලක් විතරයි. සහල් නෑ කියන නිසාම අපි පසුගිය දින මාතර නගරයේදී පාලන මිලට සියලුම සහල් බෙදීම සිදුකළා. මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අසලට අපි පසුගිය දින සහල් කිලෝ 30,000ක් අරගෙන ගියා. ඇත්තට මිනිස්සු ඇවිත් පාලන මිලට සහල් මිලදී ගත්තා එහිදී. ඒ වගේම 16 දිනත් බෙලිඅත්ත නගරයේදී පාලන මිලට සහල් අලෙවි කිරීමක් අපි විසින් සිදු කළා. එයත් ඉතාමත් සාර්ථක වුණා. මේ සඳහා අපිට පොලිස් ආරක්ෂාව පවා ලබා දුන්නා. ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ පාලන මිලට සහල් දෙන්නබැරිකමක් නෑ. ඒක කරන්න නම් මහා පරිමාණ මෝල් හිමියන් කරගෙන යන ජාවාරම නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න ඕනි. සඟවාගෙන සිටින වී තොග එළියට ගන්න වැඩපිළිවෙළක් ඕනි. එහෙම් නැතිව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් එක තැනක් දෙතැනක් පරීක්ෂා කිරීමෙන් හෝ පුංචි පුංචි කඩ අස්සේ ගිහින් පරීක්ෂා කිරීම් කරලා මේ හාල් ප්‍රශ්නය විසඳන්න බෑ” යැයි පැවසීය.