ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත ලියැවිල්ලක් ලීක් වුණේ කොහොමද?-ක්‍රීඩා ඇමැතිගෙන් විධිමත් පරීක්ෂණයක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ රහසිගත වාර්තාවක් ඔලිම්පික් කමිටුවේ ආචාරධර්ම කමිටුවට ගියේ කුමන ආකාරයෙන් ද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා තීරණය කරයි. ජාතික ඔලිම්පික් කමිටුවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සොයා බැලීම හා විසඳුම් ලබාදීම වෙනුවෙන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා හා ඔලිම්පික් විධායක කමිටු සාමාජිකයන් අතර ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවේදී මේ තීරණයට එළඹ තිබේ.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ‘ජාතික ඔලිම්පික් කමිටුවේ’ දූෂණ වංචා ඇතැයි කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව ගැඹුරින් සොයා බැලීම උදෙසා හිටපු ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කළ අතර, එම පරීක්ෂණ වාර්තාව රහසිගත ලියවිල්ලක් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා ඇමැතිවරයා වෙත භාර දී තිබිණි. එහෙත් එම රහසිගත ලියවිල්ල පාදක කොට ජාතික ඔලිම්පික් ආචාරධර්ම කමිටුව ඔලිම්පික් මහලේකම්වරයා නෙරපිය යුතු බවට ප්‍රකාශයක් නිකුත් කළේය.

එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව වාර්තාවට අදාළව නිර්දේශ 12ක් අදාළ පාර්ශ්ව වෙත ලබාදීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පියවර ගෙන තිබියදී, ජාතික ඔලිම්පික් ආචාර ධර්ම කමිටුව ත්‍රී පුද්ගල කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම පිළිබඳ ක්‍රීඩා ඇමැතිවරයාගේ අවධානය යොමු කළේය.

එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව වාර්තාව කෙරෙහි අවධානය යොමු කරන බවත්, අමාත්‍යාංශය සතු වාර්තාවක් වෙනත් පාර්ශ්වයක් ලබා ගත්තේ කෙසේද යන්න වෙනම සොයා බලන බවත් ඇමැතිවරයා පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ හදිසි නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් එය නීත්‍යනුකූල නොවන බවත් මෙහිදී සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා තර්කයක් මතු කළ අතර, එහි නීත්‍යනුකූල පසුබිම හා ව්‍යවස්ථානුකූල තත්ත්වය සොයා බලන ලෙස ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාට භාර කෙරිණි. ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයෙන් නිලවරණය පැවැත්වීමේ වැදගත්කම ඇමැතිවරයා අවධාරණය ක‍ළේය.

නිලවරණය පැවැත්වීම වෙනුවෙන් පැවති විශේෂ මහා සභාව සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්ව‍යෙන් පැවති බව මෙහිදී විධායක කමිටු නි‍යෝජිතයකු පෙන්වා දී ඇති අතර, යෝජනාව වැඩි ඡන්ද 22කින් සම්මත වූ බවද පවසා ඇත.

ඔලිම්පික් කමිටුවේ මෙවැනි හදිසි නිලවරණයක් කැඳවීමට සාමාජික සංගම් තීරණය කළේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඊමේල් මඟින් කළ පැමිණිල්ලකට පසුව වීම විශේෂත්වයකි. එම පැමිණිල්ල මඟින් දැනුම් දී තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ හා වංචා ඇති බවත් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය. ඒ සමඟම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට පියවර ගත්තේය. මේ සම්බන්ධයෙන් ද ක්‍රීඩා ඇමැති හා ඔලිම්පික් කමිටු නියෝජිතයන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා විගණන දෙපාර්තමේන්තුව හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සියලු වියදම් විගණනය කර තිබියදී සභාපති – මහලේකම් අතර අමනාපය නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට සභාපති සුබ්‍රමනියම් මහතා ඊමේල් පණිවිඩයක් ලබා දී ඇතැයි ඔලිම්පික් කමිටු නියෝජිතයෝ පෙන්වා දී තිබේ. මේ විශේෂ හමුවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහත්වරුද එක්ව සිටියහ.