ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි. ඒ අනුව මෑත ඉතිහාසයේ වඩාත් සංකීර්ණ සහ අභියෝගාත්මක ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් සියයට 98ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර තිබෙන අතර දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය විසින් පසුගිය නොවැම්බර් මස 26 දින නිකුත් කර තිබෙන අතර ඒ වන විට හිඟව ඇති බැඳුම්කරවල වටිනාකම ඩොලර් බිලියන 12.55ක් වූ බවද එම බැඳුම්කර ඒ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව තිබුණු බවද මුදල් අමාත්‍යාංශය කියයි. ඒ සඳහා වූ කැබිනට් අනුමැතිය ද ලැබුණු බව පසුගිය 26 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දැනට නිකුත් කර තිබූ බැඳුම්කර හිමි පාර්ශ්ව වෙත තම බැඳුම්කර නව බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා සති 3ක කාලයක් ලබාදී තිබුණු අතර එහි අවසන් දිනය ලෙස පත්ව තිබුණේ පසුගිය 12 දිනයයි. ඒ අනුව මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය සඳහා හැකි ඉක්මණින් එක්වන ලෙස ශ්‍රි ලංකාව අදාළ බැඳුම්කර හිමියන්ගෙන් ඉල්ලීමක් ද සිදු කරනු ලැබීය. බැඳුම්කර හිමි පාර්ශ්ව දෙකක් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවක් 2024 සැප්තැම්බර් 19 වැනිදා එළැඹ තිබෙන අතර ඉන් එක් පාර්ශ්වයක් ජාත්‍යන්තර බැඳුම්කර හිමි ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් සමන්විත වූ අතර අනෙක් පාර්ශ්වය දේශීය මූල්‍ය ආයතනවලින් සමන්විත වෙයි. මේ අතර ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුද්ගලික ණය හිමියන්ගෙන් පුළුල් සහයෝගයක් ලබාගෙන ඇති අතර රටේ ඩොලර් බිලියන 12.6 ක බැඳුම්කරවලින් සියයට 96 ක් නියෝජනය කරන ආයෝජකයින් ඔවුන්ගේ සුරැකුම්පත් සඳහා හුවමාරු කර ගැනීමට එකඟ වී ඇති බව රජය පවසයි.