දිස්ත්‍රික් සංවර්ධනය කමිටුවේ සභාපති ලෙස එහි රාජකාරි ඉටු කිරීමට තමාට නිල වශයෙන් හිමි වන සුඛෝපභෝගි මෝටර් රථය හා ඊට අදාළ ඉන්ධන සලාකය සහ කාර්යාල කාමරය ලබා නොගැනීමට කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා තීරණය කොට තිබේ. ඒ අනුව පසුගිය 13 දා පැවති කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා තමාට හිමි වූ සුඛෝපභෝගි මෝටර් රථය සහ කාර්යල කාමරයෙහි යතුරු ආපසු කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතා වෙත ආපසු භාර දීමට කටයුතු කළේය.
අදාළ සභාපති ධුරයට හිමි සුඛෝපභෝගි මෝටර් රථය සඳහා මසකට ඩීසල් ලීටර් 300ක් හිමි වන අතර, එය වාර්ෂිකව ගණනය කළ විට ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 11ක පමණ මුදලක් රජයට ඉතිරි කර දීමකි.
මේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍ය ආනන්ද විජේපාල, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍යය වෛද්‍ය නාමල් සුදර්ශන හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය දිසානායක හා සුජීව දිසානායක මහත්වරුද එක්ව සිටියහ.