කටුනායක ගුවන්තොටේ ගැටලු විසඳීම කඩිනමින්-නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇමැති බිමල් කියයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින ගැටලු කඩිනමින් විසඳන බව වරාය හා නාවික, සිවිල් ගුවන් සේවා, ප්‍රවාහන මහාමාර්ග ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.

ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

Òදැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ප්‍රධානම ගැටලුව වන්නේ ගුවන්තොටුපොළට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබාදීමට නොහැකිකමයි. ඒ සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටලු සමඟ 2023 වර්ෂයේ අවසන් කළයුතු ප්‍රධාන ව්‍යාපෘති අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

අපේ රටේ ගුවන්තොටුපොළ කීහිපයක් තිබුණත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංචාරක කර්මාන්තය හා අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා වැදගත්කමක් උසුලනවා. මේ නිසාම මේ තුළින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත් අනාගත අපේක්ෂාවන්ට සරිලන පරිදි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ක්‍රමවේදයන්ට අනුගතව සංවර්ධනය කිරීමටත් අපි පියවර ගන්නවා. ඒ වගේම සේවක ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමටත් මා අපේක්ෂා කරනවා යැයි ද පැවැසීය.

මෙහිදී ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන විගමන හා රේගු පරිශ්‍රය, බැංකු සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන පරිශ්‍ර වෙත ද යමින් ඇමැතිවරයා එහි කටයුතු සොයා බැලීය. මේ අවස්ථාවේ ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ගුවන් මඟින් සහ ගුවන්තොටුපොළ ආශ්‍රිත විවිධ වෙළෙඳ ආයතනවල සේවකයන් සමීපයට ගොස් ඔවුන් සමඟින් ද අදහස් විමසූ අතර වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ කතාබහකටද එක්විය.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ජනක රුවන් කොඩිතුවක්කු මහතා සහ කටුනායක ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, උප සභාපති ඇතුළු ගුවන්තොටුපොළ නිලධාරීහු රැසක් මේ අවස්ථාවට එක්වූහ.