ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් නඟා සිටුවීමට නවසීලන්ත රජයේ පූර්ණ සහයෝගය මෙරටට ලබාදෙන බව නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා පැවැසීය. ඒ අනුව ආහාර සුරක්ෂිතතාව, වෛද්‍ය විද්‍යා පර්යේෂණ සහ ආයුර්වේද සම්ප්‍රදායන් අතර දැනුම හුවමාරුව, ක්‍රීඩා, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළු මෙරට ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජය සහාය දක්වයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා සහ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවේදී මහකොමසාරිස්වරයා මේ බැව් අවධාරණය කළේය.
මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා නව රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කාර්යභාරයට සිය සුබ පැතුම් පිරිනමනු ලැබූ අතර, ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂා සපුරාලීම උදෙසා රටේ ශක්තිමත් සෞඛ්‍ය සේවාවක් මෙන්ම දියුණු ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැඟීමට එම කටයුතු ඉමහත් පිටිවහලක් වනු ඇතැයි ද පෙන්වා දුන්නේය. එමෙන්ම නවසීලන්තයේ අඛණ්ඩ සහාය ඉදිරියටත් මෙරටට ලබාදෙන බවත්, ශ්‍රී ලංකාවේ නවසීලන්ත ආයෝජන සඳහා ඇති අවස්ථා මෙන්ම වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සිය සහාය අඛණ්ඩව ලබාදෙන බව ද නවසිලන්ත මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා අදහස් දක්වමින් අවධාරණය කළේ මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩා ශක්තිමත් කිරීමට ඉදිරියේ දී වැඩි අවධානයක් යොමු කරන බවයි. සෞඛ්‍ය ක්ෂේත්රයේ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ඇතුළු මානව සම්පත වර්ධනය කිරීමට ද සැලසුම් සකස් කරමින් සිටින බවද පැවැසීය. නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආහාර සුරක්ෂිතතා සහයෝගිතා ක්‍රියාකාරකම් සඳහා නවසීලන්තය දක්වන දායකත්වය මෙහිදී විශේෂ ඇගැයීමට ලක් කළ ඇමැතිවරයා සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනයට මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ සේවා අදාළ කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කළේය. තවද, එම සේවාවන් ප්‍රවර්ධනයට නවසීලන්ත රජයේ ලබාදෙන සහාය බෙහෙවින් අගය කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසාක් (Gabrielle Isaak) මහත්මිය ඇතුළු නවසීලන්ත මහකොමසාරිස් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් මේ හමුවට සහභාගි වූහ.