බලපිටිය රෝහලේ තුන්වැනි වාට්ටුවට ඇතුළත් වූ රෝගී කාන්තාවක් ඉකුත් 10 වැනිදා එක්වරම මානසික තත්ත්වය විකෘති වීමෙන් කතුරක්ද රැගෙන වියරුවෙන් මෙන් බැණ වදිමින් කෑ ගසමින් වාට්ටුවේ ඒමේ අත දිව යෑම නිසා රෝගීන්, රෝගීන් බැලීමට පැමිණි පිරිස් මෙන්ම කාර්ය මණ්ඩලයද මහත්සේ තැති ගැන්මකට ලක්විය.
රෝගියෙක් බැලීමට පැමිණි අයෙකුටද පහරක් එල්ල කළ මෙම කාන්තාවගේ හැසිරීම හේතුවෙන් සැවොම සී සී කඩ විසිර ගියහ.
පසුව රෝහලේ පොලිස් ඒකකය හා කාර්යමණ්ඩලය එක්ව මෙම රෝගී කාන්තාව මෙල්ලකර ඇඳක් මත තබා ගැටගසා ප්රතිකාර ලබාදුන් අතර එය පැමිණ සිටි පිරිසගේ සැනසුමටත් පැසසුමටත් ලක් විය.
කෙසේ වුවද පැමිණ සිටි අයකු පැවසුවේ මෙවැනි රෝගීන් භාර ගැනීමේ දී මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බවයි. මෙවැනි රෝගීන්ට විශේෂයෙන්ම ආරක්ෂාව ලබාදිය යුතු බවත් මෙවැනි රෝගියෙක් විසින් කාර්ය මණ්ඩලයේ හෝ රෝගීන් බැලීමට පැමිණෙන අයෙකුගේ මෙන්ම රෝගියෙකුගේ වුවද ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් වඩාත් විමසිලිමත් විය යුතු බවයි.
මෙම අවස්ථාවේ රෝහල් සේවක මහතකු පැමිණ ඡායාරූපයක් ලබාගත් මාධ්යවේදියාටද ඡායාරූප මකා දමන ලෙස තර්ජනය කළ අතර, එහිදී පැමිණ සිටි අයකු කීවේ පොලීසිය රාජකාරී කරන අයුරු වීඩියෝගත කළ හැකි පරිදි රට වෙනස් කළ ජනපතිවරයෙක් පත්කර ඇති බැවින් රෝහලේ ඡායාරූපයක් ගැනීමට තහංචි දැමීම විහිළුවක් බවයි.