ව්‍යවස්ථාදායක සභාවේ තීරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් ගත් තීරණයට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තීරණය කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් අදාළ පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දෙමින් මේ බව තීරණය කරණ ලදි.

මෙම පෙත්සම ගොනු කිරීම මඟින් පෙත්සම්කාර නීතිඥවරයා ජනතා යහපත වෙනුවෙන් සත්භාවයෙන් කටයුතු කර ඇති බවක් පෙනී නොයන බව සහ යටි අරමුණක් සහිතව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව පෙනී යන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

ඒ අනුව මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනා වෙත රුපියල් ලක්ෂ 05 බැගින් ලක්ෂ 15ක නඩු ගාස්තුවක් ගෙවන ලෙස පෙත්සම්කාර නීතිඥවරයාට නියම කරන ලදි.

ඔහුගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙම නඩුකරයට සම්බන්ධ පාර්ශ්වයන්ට නීතිඥ සහාය ලබා ගැනීමට සිදුවීම වෙනුවෙන් නඩු ගාස්තු ලෙස තවත් ලක්ෂ 05ක මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛනාගාරයේ තැන්පත් කරන ලෙස ද එම නීතිඥවරයාට නියම කරන ලදි. මෙම මුදල් මාස දෙකක කාලයක් තුළ දී ගෙවීමට කටයුතු කරන ලෙස ද නියම කෙරිණ.

මෙම නඩු තීන්දුව විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන ලදි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් පුරප්පාඩු වීමෙන් අනතුරුව එම ධුරයට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පත්කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණි.

එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථාවදායක සභාව ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පෙත්සම්කාර නීතිඥවරයා විසින් මෙම පෙත්සම අධිකරණයට ගොනු කරන ලදි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීම ව්‍යවස්ථාදායක සභාවේ බහුතර සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම වැරදිසහගත බව පවසමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. එසේම එම අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාව විසින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් තොරතුරු විමසා අගවිනිසුරුවරයා වෙත යොමු කළ ලිපියද නීති විරෝධී බවට පෙත්සම මඟින් පැමිණිලි කර තිබුණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් විසින් දීර්ඝ ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලදි. එම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත්තේ එම පෙත්සම සම්බන්ධයෙන් පිළිගත හැකි කරුණු ඉදිරිපත් කරමින් පෙත්සම සාර්ථක කර ගැනීමට පෙත්සම්කරු අසමත් වී ඇති බවය.

යම් විනිසුරුවරයෙකුට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් ඒ විනිසුරුවරයා ගැන සොයා බැලීමට ව්‍යවස්ථාදායක සභාව විසින් සද්භාවයෙන් සිදුකර ඇති අතර එම ක්‍රියාව නීතියට පටහැණි නොවන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ. ඒ අනුව නාමයෝජනා කර තිබූ විනිසුරුවරයා සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා වෙතින් කරුණු විමසීම මඟින් කිසිදු මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වී නොමැති බවත් අධිකරණයේ මතය බව එම තීන්දුවෙහි සඳහන් වේ. මෙම පෙත්සම් විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණයේදී අභියාචනාධිකරණ සභාපතිවරයා හමුවේ ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවද එහි සඳහන් වේ. මෙම පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණ සභාපතිවරයා ක්‍රියා කළ අන්දම නිරීක්ෂණය කිරීමේදී සම්පූර්ණයෙන්ම පෙත්සම්කරුට පක්ෂව කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිව පෙනී යන බව අධිකරණයේ මතය බව එහි දැක්වේ.

එසේම අධිකරණයේ නොකර හැරීම නිසා අදාළ පෙත්සම්වලට සම්බන්ධ පුද්ගලයන්ට සිය කටයුතු පහසුවෙන් ඒ ආකාරයෙන්ම කරගෙන යාමට අවස්ථාව සැලසුණු බවක් පෙනී යන බවද එම තීන්දුවේ සඳහන් වේ.

අදාළ CA.writ 38/2023 සහ CA.writ 377/2023 පෙත්සම්වල ප්‍රශ්නගත පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගැනීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට කටයුතු කළ යුතු නමුත් එවැන්නක් සිදුවී නොමැති බවට නිරීක්‍ෂණය වන බවද නඩු තීන්දුවෙහි සඳහන් වේ. එම පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් හෝ දක්වා නැති අතර එම කරුණු ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් අදාළ රිට් පෙත්සම් සම්බන්ධයෙන් දුන් තීන්දුවේ සඳහන් නොවන බවද විනිසුරු මඬුල්ල විසින් සඳහන් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත්කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගේ නාමයෝජනාව ඉදිරිපත් කරන කාලයේ දී එවකට සිටි ක්‍රීඩා ඇමැතිවරයා විසින් එම විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ බව ද එම ප්‍රකාශය ව්‍යවස්ථාදායක සභාවේ සැලකිල්ලට භාජනය වී ඇති බව පෙනී යන බව අධිකරණ හැඟීම බව මෙම තීන්දුවෙහි සඳහන් වේ. මෙම විනිසුරුවරයාම අභියාචනාධිකරණ සභාපති ධුරයට පත් කිරීමට මෙම ව්‍යවස්ථාදායක සභාව විසින්ම අනුමත කළ අතර ඊට මාස කීපයකට පසුව මෙම විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට උසස් කිරීම සඳහා වන නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් එය පැහැදිලි වන බව නඩු තීන්දුවෙහි සඳහන් වේ.

පෙත්සම්කරු අධිකරණය හමුවේ සිය උපරිම විශ්වාසය තහවුරු කර නොමැති අතර මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් යටි අරමුණකින් බවත් කිසිදු ආකාරයක මහජනතාව වෙනුවෙන් සද්භාවයෙන් සිදු කළ ක්‍රියාවක් නොවන බවත් ඉතා පැහැදිලි වන බවත් අධිකරණයේ මතය වන බව එහි සඳහන් වේ. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී කිසිදු ආකාරයෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකමක් කඩවී නොමැති බව පැහැදිලි වන බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

ඒ අනුව පෙත්සමෙහි වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, ආචාර්ය දිල්කුෂී අනුලා විජේසුන්දර සහ මහාචාර්ය දිනේෂ සමරකෝන් යන මහත්ම මහත්මීන්ට නඩු ගාස්තු වශයෙන් ලක්ෂ පහ බැගින් ගෙවන ලෙසට පෙත්සම්කරුට නියම කරන බව එහි දැක්වේ. එසේම වගඋත්තරකරුවන්ට ලක්ෂ පහක තවත් නඩු ගාස්තු ගෙවන ලෙස නියෝග කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ. නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සමඟ නීතීඥ මෙහෙරාන් කරීම් මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා වගඋත්තරකාර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කබීර් හෂීම් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, ආචාර්ය දිල්කුෂී අනුලා විජේසුන්දර සහ මහාචාර්ය ඩබ්ලිව්. වී. ඒ.දිනේෂ සමරත්න වෙනුවෙන් පෙනී සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය කථානායකවරයා නීතිපතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.