සික් ජාතිකයන්ගේ ගුට්කා සහීබ් ශුද්ධ වූ ආගමික ග්රන්ථයට අපහාස කළ බවට චෝදනා ලැබූ පාකිස්තානු ජාතිකයකු ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කයිසර් හයාට් නමැති 21 හැවිරිදි පාකිස්තාන ජාතිකයා ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සික් ජාතිකයන්ගේ ශුද්ධවූ ග්රන්ථයට අපහාස කරමින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට වැරදිකරුවීමෙන් පසු ඔස්ට්‍රේලියානු රජය මේ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගිය අගෝස්තුවේ පර්ත් නුවරදී පාකිස්තාන ජාතික තරුණයා ගුට්කා සහීබ් ආගමික ග්‍රන්ථය බිම දමා පාගා එහි පිටු ඉරා ගිනි තබන ආකාරය ඔහු විසින්ම වීඩියෝගත කර ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට මුදා හැර ඇති අතර, එය හෙළා දකිමින් එරට වෙසෙන සික් ප්‍රජාව දැඩි විරෝධතාවක නිරතවීමට හේතුවවූ බවද වාර්තා වේ. පාකිස්තාන ජාතිකයාට එරෙහිව පර්ත් නුවර අධිකරණයේ නඩු විභාගය පැවැත්වෙද්දී සික් ජාතිකයන් විශාල පිරිසක් අධිකරණ භුමිය අසල එක්රොක්වී සිටි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.