ජනපති ගිය පසුව සිරියාවට සිරියාවයි

සිරියානු ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමෙන් පසු එරට ජනතාව ස්ථාවරත්වය සහ සන්සුන් කාරී වාතාවරණය භුක්ති විඳීමට අවස්ථාව ලැබී ඇතැයි නව බාරකාර රජයේ අගමැති මොහොමඩ් අල්-බෂීර් පවසයි.

සිරියාවේ නව අගමැති ධුරයට පත්ව සිටින, වයඹදිග කැරලිකාර කණ්ඩායමේ නායක මොහොමඩ් අල්-බෂීර්ට, එරට අනෙකුත් කැරලිකාර කණ්ඩායම් ඔහුට අගමැති පදවියේ කටයුතු කිරීමට අවසර ලබා දී තිබේ.

කැරළි කණ්ඩායම් නායකයෙකු වීමට පෙර ඔහු විදුලි ඉංජිනේරුවෙකු ලෙස පුහුණුව ලබා ගෑස් කම්හලක සේවය කර ඇති බව වාර්තා වේ.

නව අගමැතිවරයා ඩැමස්කස් නුවරදී නව ආණ්ඩුවේ සාමාජිකයින් සහ හිටපු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ කැබිනට් මණ්ඩල සාමාජිකයින් සමග සාකච්ඡාවක් පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී අමාත්‍යාංශ සහ ආයතන නව ආණ්ඩුවේ සාමාජිකයින්ට බාර දීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටන බ්ලින්කන් පවසා ඇත්තේ, සිරියාවේ සුළු ජාතීන්ට ගරු කරන සියලුම ජාතින් ඇතුළත් රජයක් ඇති වන්නේ නම් ඊට පූර්ණ සහය දෙන බවයි. මානව හිමිකම්වලට ගරු කිරීම, රාජ්‍ය ආයතන වල සේවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ඇන්ටන බ්ලින්කන් අවධාරණය කර තිබේ.