මෙම වසරේ ජනවාරි මස 1 වැනිදාට පෙර තිබූ පරිදි වැට් බද්දෙන් නිදහස් අංශ ලයිස්තුවට “පොත්” ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කරමින් ප්‍රකාශකයින්, ලේඛකයින්, අලෙවිකරුවන්, ආනයන සහ අපනයනකරුවන් නියෝජනය කරන සංගම් රජයෙන් ඉල්ලීමක් කරති.
දැනුම ලබා ගැනීමේ සහ ඉගෙනීමේ මූලාශ්‍රවලට බදු පැනවීමේ මූල්‍යමය මෙන්ම සමාජයීය ප්‍රතිවිපාක සලකා බලන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන ඔවුහු පවසන්නේ සියයට 18ක එකතු කළ අගය මත එක් කළ බද්ද ඉවත් කරන ලෙසයි.
ඔවුහු මේ බව පැවසුවේ කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
රජයට ඉදිරිපත් කළ මෙම යෝජනාවට ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සමඟ සම්බන්ධව අත්සන් කළ පාර්ශ්ව අතරට ශ්‍රී ලංකා ලේඛක සංගමය, සමස්ත ලංකා පොත් වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොත් ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමයද ඇතුළත් විය.
තම යෝජනාවේදී මෙම සංගම් හතර පෙන්වා දී ඇත්තේ දේශීයව පොත් නිපදවීමේදී මිනිස් ශ්‍රමය හැර අන් සියලු ද්‍රව්‍යයක්ම ආනයනය කරනු ලබන අතර එහිදී, ආනයනය කරන අවස්ථාවේ සිටම ශ්‍රී ලංකාවේ පොත් කර්මාන්තය මත දැනටමත් 33.045%ක බදු ගෙවමින් ඇති බවයි. එයට අමතරව පොත් විකුණන අවස්ථාවේදීද 18%ක එකතු කළ අගය මත (VAT) බද්දක් පැනවීම හේතුවෙන් බොහෝ පිරිසකට දරාගත නොහැකි වන අයුරින් පොත්වල මිල ඉහළ ගොස් ඇති අතර කුඩා පරිමාණ ප්‍රකාශක ව්‍යාපාර වැසී යාමේ අනතුරට මුහුණ පා ඇති බවයි.
ඇඹිලිපිටියේ විජිත හිමි, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) සභාපති සමන්ත ඉන්දීවර, ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග, ලංකා ලේඛක සංවිධානයේ ලේකම් කමල් පෙරේරා, ශ්‍රී ලංකා පොත් ආනයන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් සමරනායක, සමස්ත ලංකා පොත් වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් මනුර වන්නිආරච්චි සහ අතුල ජයකොඩි යන මහත්වරු මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූහ.