බාර් ලයිසන් බෙදුවා මදිවට බදු අයකරගෙනත් නෑ-අරක්කු සමාගම්වලින් පොලු තැබූ බිලියන 7 අයකරගන්න වැඩපිළිවෙළක් – ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස

මත්පැන් සමාගම්වලින් එකතු විය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර, එම බදු අය කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ අත්පත් කර ගැනීමට පනතෙන් බලය දී තිබුණේ නම් රජය එය ද සිදු කරන බව හෙතෙම කීවේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට දී නැති බව සඳහන් කරමින් ඒ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයට ඊයේ (10) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිවුවා අවුරුද්දකට බාර් ලයිසන් 250ක් 300ක් දීලා ඒකෙන් ලැබෙන බදුවලින් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරන්න බලාපොරොත්තුව තිබ්බේ කියලා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගත කරන පුද්ගලයකු මේ ආකාරයට ඉතාම උපහාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීම ගැළපෙන්නේ නැහැ.

බාර් ලයිසන් දෙන එක නෙමෙයි වැඩේ. ඒ බාර් ලයිසන් දීලා ඒ විකුණන අරක්කුවලට ජනතාව ගෙවන බදු මුදල් එකතු කර ගන්නවත් රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා තිබුණේ නැහැ. උදාහරණයක් ලෙස ඇලෝසියස්ට අයිති සමාගම් තුනේ ඔවුන්ගේ හිඟ බදු සහ අධිභාරය තියෙනවා 2022 ඉඳන්. බාර් ලයිසන් දෙන්න තීන්දු ගන්නකොට නොගෙවූ බදු එකතු කරන්නත් තීන්දුව ගන්න තිබුණා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්න කැමැතියි මේ රටේ බාර් වවන වෙලාවේ පොල් වැව්වා නම්, රටේ වී ගබඩා ටික හැදුවා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් රජය නීතිය ක්‍රියාත්මක කරනවාද?

පිළිතුර – දෙමළ පමණක් නෙවෙයි සිංහල, මුස්ලිම් මාධ්‍යවේදීන් ඝාතනය වීම පිළිබඳ අපි අදහස් දක්වලා තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන අයටත් රටින් පවා යන්න සිදුවුණා. සමහර ලේඛන අතුරුදන් කරලා තිබෙනවා. අපි සහතික වෙනවා මේ පරීක්ෂණ සාධාරණව සිදු කරනවා කියලා. වත්මන් රජය යටතේ එවැනි දේ යළි වෙන්නේ නැහැ කියන සහතිකයත් දෙනවා.

ප්‍රශ්නය – ඉදිරි මාසයේ සිට ඖෂධ හිඟයක් ඇති වෙන බවට ප්‍රචාරය වෙනවා. එය සත්‍යද?

පිළිතුර – ඖෂධ හිඟයක් ඇති වීමට නියමිතව තිබුණා. පසුගිය වසරේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ දේශීය ව්‍යාපාරිකයන් අතර පැවැතිය යුතු ඇණවුම් ලබාදීමේ අඩුපාඩුවක්, ප්‍රමාදයක් ඇති වෙලා තිබුණා. දේශීය නිෂ්පාදිතයන්ට යම් කාලයකට කලින් මේ ඇණවුම් ප්‍රදානය කළ යුතුව තිබුණා. ඒ ප්‍රමාදය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය මඟින් නිරාකරණය කළා. ඖෂධ වර්ග 350කට ආසන්න ප්‍රමාණයක් පමණ රුපියල් බිලියන 50කට පමණ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. විටින් විට යම් ඖෂධයක දෙකක යම් තාවකාලික හිඟයක් ඇති විය හැකියි. ඒ සඳහා කඩිනම් මැදිහත් වීමක් කරනවා. සෝඩියම් බයිකාබනේට් ප්‍රශ්නය විසඳලා තිබෙන්නේ. මේ කියන ආකාරයේ ඖෂධ වර්ග 500ක 600ක හිඟයක් හෝ බාල බෙහෙත් වගේ ප්‍රවෘත්ති සාවද්‍යයි. බාල බෙහෙත් තිබෙනවා කියලා කිවුව වෛද්‍යවරයාම පසුව කිවුවා එහෙම කිවුවේ නැහැ කියලා.

ප්‍රශ්නය – මොන ජාතියේ වාහන ගෙන්වනවද කියලා රජය තීරණයක් අරගෙන තිබෙනවද?

පිළිතුර – වාහන ආනයනය සම්බන්ධයෙන් තීන්දුව ගනු ලැබුවේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය, ආර්ථික ඉලක්ක සංචිත ගැන අවබෝධයෙන්. වාහන ගෙන්වීම සම්බන්ධයෙන් සීමා අවබෝධ කරගෙන කටයුතු කරන්න. නැතුව ජනතාව නොමඟ නොයවා. සීමාවන්ට යටත්ව තමයි වාහන ගෙන්වන්න දෙන්නේ.

ප්‍රශ්නය – කථානායකවරයාට ආචාර්ය උපාධියක් තිබෙනව ද නැද්ද?

පිළිතුර – කථානායකවරයා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි පැහැදිලි ප්‍රකාශයක් කරාවි. ඒ ගැන බලාගෙන ඉමු.