හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාට අයත් හපුතලේ, මුතුවානාවත්ත වතුයායේ තිබි නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කරන ලද ඉසුසු වර්ගයේ ලොරියක් පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් සිය භාරයට ගෙන තිබේ. විවිධ භෝග වගාවන් මෙන්ම ඉදිකරමින් පවතින හෝටලයක් සහිත අක්කර සීයකට අධික විශාලත්වයකින් යුත් ඉඩමක සැක කටයුතු ලොරියක් තිබෙන බවට පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂණවලදී මේ රථය සොයා ගැනීමට හැකිව තිබේ.
පොලිස් පරීක්ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් කළ මූලික විමර්ශනවලදී එම වතුයාය හිටපු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාට අයත් එකක් බවට අනාවරණය කර ගෙන ඇති අතර අනතුරුව අදාළ වතු යායට ගොස් සැකකටයුතු ලොරිය භාරයට ගෙන තිබේ.
අදාළ ලොරි රථයේ ලියාපදිංචි අංකය අනුව එය එම ලියාපදිංචි අංකයට වෙනත් වාහනයක් මාතලේ පදිංචි පුද්ගලයකු ලියාපදිංචි කර ඇති බවත් පොලිසිය කියයි.
මෝටර් රථ කොමසාරිස්වරයාගේ නිසි අවසරයකින් තොරව එකලස් කර ඇති බවට සැකකරන 41-6566 ලියාපදිංචි අංක දරන එම සැක ලොරි රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එහි ස්විච් යතුර නොතිබූ බව පොලීසිය කියයි.
දුරකතනය හරහා හිටපු මන්ත්‍රීවරයාව සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයට පැමිණෙන බවට පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. ඔහු පැමිණෙන තෙක් පොලිස් නිලධාරීන් පැය පහක-හයක පමණ කාලයක් එම ලොරිය අසල රැඳී සිටිය ද රෑ බෝවන තෙක් හිටපු මන්ත්‍රීවරයා පැමිණියේ නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඒ හේතුවෙන් ලොරියේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පසුව ලොරියේ සුවිච් යතුර ලැබීමෙන් අනතුරුව ලොරි රථය පෙරේදා (8) පොලිස් භාරයට ගෙන හපුතලය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය. පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පරීක්ෂණ පවත්වයි.