පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා වැටලීම්

පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක බවත් එවැන්නන්‍ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

මේ අතර පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සහල් මෝල් පරීක්ෂාව අද තුන්වැනි දිනටත් සිදු කෙරේ.

ඒ, සහල් මෝල්වලින් දෛනිකව නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබා ගන්නැයි ජනාධිපතිවරයා දුන් උපදෙස් මතය.

අඛණ්ඩව දින 10ක් එම කටයුතු සිදු කෙරෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

එම අධිකාරිය සඳහන් කළේ, හාල් මෝල් හිමියන් විසින් නිකුත් කර ඇති බිල්පත් පරීක්ෂා කිරීම් ඊයේ (09) දිනයේ සිට ආරම්භ කළ බවයි. සහල් නිකුත් කර ඇති වෙළෙඳසැල් එම බිල්පතට අනුව සොයා ගැනීමට හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

මේ අතර ආනයනික සහල් තොගයේ පළමු තොගය හෙට වනවිට මෙරටට ලැබෙනු ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි. එම සංස්ථාව ප්‍රකාශ කළේ, පෞද්ගලික අංශය ඇණවුම් කළ තොග පළමුව මෙරටට ලැබෙනු ඇති බවයි. ඒ, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

පෞද්ගලික අංශය ඇණවුම් කළ සහල් තොග මෙරටට ලැබී දින කිහිපයකින් රජය ඇණවුම් කළ සහල් තොග වෙළෙඳපොළට ලැබෙනු ඇත.