ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අතර, මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1939 වර්ෂයේදී ස්ථාපිත කර ඇත.

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වැනි සංවත්සරය අද ( 09) දින අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් 74 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

74 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිර්දේශය මත විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයන් 2138ක් 2024 දෙසැම්බර් මස 09 වැනි දින ඊළඟ තරාතිරමට උසස් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව, සාමාන්‍ය නැවි තරාතිරම දක්වා නාවිකයන් 158ක්ද, බල නැවි තරාතිරම දක්වා නාවිකයින් 279ක්ද, නායක නැවි තරාතිරම දක්වා නාවිකයින් 406ක්ද, සුළු නිලධාරී තරාතිරම දක්වා නාවිකයින් 391ක්ද, ප්‍රධාන සුළු නිලධාරි තරාතිරම දක්වා නාවිකයින් 539ක්ද, සමූහ ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 354ක් සහ පාලක ප්‍රධාන සුළු නිලධාරී දක්වා නාවිකයින් 11ක්ද වශයෙන් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් 2138ක් ඊළඟ තරාතිරම දක්වා උසස් කිරීම සිදු කෙරිණි.

සැබැවින්ම අද දින අභිමානවත් 74 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාව දිර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අතර, මෙරට නාවික හමුදාවක ආරම්භය 1937 අංක 01 දරන ස්වේච්ඡා නාවික හමුදා ආරක්‍ෂක ආඥා පනත යටතේ, රාජකීය ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1939 වර්ෂයේදී ස්ථාපිත කිරීම මඟින් සිදුවී ඇත. 1950 අංක 34 දරන නාවික හමුදා පනත මඟින්, එවකට රාජකීය ලංකා ස්වේච්ඡා නාවික උප සේවයේ සක්‍රිය සේවයේ නියුතුව සිටි නිලධාරීන්ගෙන් සහ නාවිකයන්ගෙන් සමන්විතව, 1950 දෙසැම්බර් මස 09 වැනි දින ‘රාජකීය ලංකා නාවික හමුදාව’ ස්ථාපිත කිරීම මඟින්, මෙරට ස්ථිර නාවික හමුදාවක ආරම්භය සනිටුහන් විය. එතැන් සිට මෙරට සාගරික වපසරියේ ආරක්‍ෂකයා ලෙස විශේෂ වගකීමක් ඉටු කරමින් දිනෙන් දින වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ, ‘ශ්‍රී ලංකා නාවික හමුදාව’ බවට පරිවර්තනය විය.

1980 දශකයේ මුල් භාගයේදී මෙරට උතුරු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වර්ධනය වූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන්, එතෙක් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල නාවික හමුදා භූමිකාවෙන් සංග්‍රාමික භුමිකාව වෙත පරිවර්තනය වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, එතැන් සිට ත්‍රස්තවාදය මෙරටින් පිටුදැකීමේ ජාතික කර්තව්‍යය වෙනුවෙන් පිරිස් බලයෙන් හා යුදමය ශක්‍යතාවයෙන් ක්‍රමිකව වර්ධනය විය. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙළා පැවති ත්‍රස්තවාදය 2009 වර්ෂයේදී මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, වර්තමානයේ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා මෙන්ම, සාගර කලාපයේ ආරක්‍ෂාව සඳහා බලපාන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග සහ නීති විරෝධී කටයුතු මැඬපැවැත්වීම සඳහා මෙන්ම, ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන ඒකාබද්ධ සමුද්‍රීය බළකාය සමඟ සන්ධානගත වී ජාත්‍යන්තර මුහුදේ නීතිමය භාවිතය ප්‍රචලිත කිරීමේ සහ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීමේ මෙහෙයුම් සඳහා දායක වේ.

එමෙන්ම, ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යය සාධක බළකාය වෙත 2025 වර්ෂයේ ජනවාරි මස සිට මාස 06ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අණ දීමට නියමිතව ඇත. එලෙස 154 වැනි කාර්යය සාධක බළකාය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවට අණදීමට අවස්ථාව උදාවීම, නාවික හමුදාව වසර 74ක් පැමිණි දීර්ඝ ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන අතර, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මවුබිම වෙත විශාල කීර්තියක් ගෙන දීමට ද එමඟින් නාවික හමුදාව වෙත අවස්ථාව උදාවනු ඇත.

දේශීය ජලතීරයෙන් ඔබ්බට, ඉන්දියානු සාගර කලාපය ඔස්සේ ජාත්‍යන්තර මුහුද දක්වා එලෙස මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය හැකියාවන්ගෙන්, තාක්‍ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයකින් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රමිකව වෙනස් විය යුතු ආකාරය පිළිබඳ විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සකස් කළ උපායමාර්ගික සැලැස්ම 2030 ක්‍රියාවට නංවා ඇති නාවික හමුදාව, සම්පත් හා පිරිස් බලය උපරිම ශක්ති ප්‍රමාණයෙන් යොදවමින් දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්‍ෂාත් කරගැනීම උදෙසා කැපවී සිටියි.

මවුබිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් සිදු කළ අනභිභවනීය මෙහෙවර හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝධාර නාවික හමුදා රණවිරුවන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය නිමිත්තෙන් ගෞරවයෙන් අනුස්මරණය කරමින් සහ වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු සේවයේ යෙදී සිටින සියලුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ආශිර්වාද පතා, ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරිණි. ඒ යටතේ කංචුක පූජාව සහ ධජ ආශිර්වාද පුණ්‍ය මහෝත්සවය රුවන්වැලි මහා සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදීත්, ක්‍රිස්තියානි දේව මෙහෙය කොටහේන, ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදීත්, ඉස්ලාම් දේව මෙහෙය කොළඹ ජුම්මා මස්ජිත් පල්ලියේදීත්, හින්දු දේව මෙහෙය කොළඹ ශ්‍රී පොන්නම්බලවානේස්වරර් හින්දු දේවස්ථානයේදීත්, සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ ගරුතර මහා සංඝරත්නය 74 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම වැලිසර නාවික හමුදා සංකීර්ණයේදී සිදු කෙරිණි.

තවද, 74 වැනි නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව නාවික හමුදාව විසින් නැඟෙනහිර සහ වයඹ නාවික විධානයන් තුළ සංවිධානය කෙරුණු ලේ දන්දීමේ වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම මහඟු සමාජ සත්කාර්යය සාර්ථක කරගැනීම සඳහා දායක වූහ.

එමෙන්ම, 74 වැනි නාවික හමුදා සංවත්සර දිනයට සමගාමීව මවුබිම වෙනුවෙන් දිවි පිදූ සහ ක්‍රියාන්විතයේදී අතුරුදන් වූ විරෝධාර නාවික හමුදා පුද්ගලයින්ගේ ළඟම ඥාතින් ඇතුළු පවුලේ සමීපතමයින් හමුවී සුවදුක් විම‍සීමේ වැඩසටහන මෙවරද නාවික හමුදාපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික හමුදා සුභසාධක අංශය මඟින් ක්‍රියාවට නංවා ඇත. එම උතුම් සත්කාර්යය, නාවික හමුදාවේ කාර්යය භාරය වෙනුවෙන් කැපවී, මවුබිමේ උත්තරීතර නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර නාවික රණවිරුවන් වෙත නාවික හමුදාව වෙතින් පිදෙන උපහාරයක් පමණක් නොව, එම උතුම් කැපකිරීම සඳහා තම ආදරණීය දූ පුතුන්, ස්වාමිපුරුෂයන් සහ පියවරුන් වෙත ශක්තියක් ගෙනදී සුවශේෂි කැපකිරීමක් සිදු කළ එම වීරෝධාර රණවිරුවන්ගේ ළඟම ඥාතින් සහ ආදරණීය පවුලේ සමීපතමයින් වෙත නාවික හමුදාව වෙතින් පිදෙන උපහාරයක්ද වේ.

දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, සාගරය මතින් එල්ලවන අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධි නායක, ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නිවැරදි දැක්මට අනුව, ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා මඟ පෙන්වීමෙන්, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ නිවැරදි නායකත්වයෙන්, නාවික හමුදාවට අනන්‍ය හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ භූමිකාවන් ඉතා කාර්යක්‍ෂමව ඉටුකරමින්, දේශයේ සමුද්‍රීය අභිලාෂය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ස්ථායි සාගර කලාපයක් පෝෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව කැපවී සිටියි.