වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම වෘත්තීය සමිති මර්දනය කිරීම නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවේ-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීම හෝ වෘත්තීය සමිති මර්දනය කිරීම නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බවත්, සියලු වෘත්තීන්හි වෘත්තියමය ගරුත්වය ආරක්ෂා කරමින් හැකි අයුරින් වෘත්තීය සමිතිවල සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව කැපවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමඟ පැවති සකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

වෘත්තීය සමිති සමඟ පවත්වන සාකච්ඡා මාලාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA), සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ACMOA), විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS), රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), සමස්ත ලංකා හෙද නිලධාරීන්‌ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (GNOA) ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමඟ පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් ඇමැතිවරයා විසින් පවත්වනු ලැබීය.

ඉහත සාකච්ඡා මාලාව තවත් ඉදිරියට ගෙනයමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ද මීට පෙර ඇමැතිවරයා සාකච්ඡා පවත්වා ඇත.

එම වෘත්තිකයන් මුහුණදෙන වෘත්තීය ගැටලු පිළිබඳ විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබා ගැනීම ද සාකච්ඡාමය වැඩසටහන් අතරතුර සිදු කෙරිණි.

තවදුරටත් ඇමැති වෛද්‍ය නලින්ද මහතා මෙසේ ද පැවසීය.

“සෞඛ්‍ය සේවාවේ නිරත විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවක මහතා දක්වා සියලුම කාර්ය මණ්ඩල සේවාවට එහා ගිය මානුෂීය කාර්යයක් ඉටු කරනවා. එම විශිෂ්ට සේවාව නිසා වර්තමානය වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරන සුබවාදී අපේක්ෂිත ඉලක්කයන් කරා ළඟා වීමට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට හැකියාව ලැබී තිබෙනවා.

ගුණාත්මක ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩු ගෙන යනු ලබන නව වැඩපිළිවෙළට සියලුම වෘත්තීය සමිතිවල සහාය නිබඳව ලබා දෙන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිනවා.

ඇමැතිවරයාගේ ඉල්ලීමට අනුව අවශ්‍ය උපරිම සහාය කොන්දේසි විරහිතව ලබා දෙන බව වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී අවධාරණය කර සිටියේය.

වර්තමානයේ පවතින වෘත්තීය ගැටලුවලට විසඳුම් සෙවීම පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යංශය හා වෘත්තීය සමිති අතර අන්තර් සම්බන්ධතාව, සුහදශීලිභාවය සහ මිත්‍රශීලීභාවය වර්ධනය කරගැනීමේ අරමුණ ද මෙවන් සාකච්ඡා පැවැත්වීම තුළ කැටිව තිබෙන බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ශ්‍රම බළකාය හා බැඳී පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය වසර 130කට අධික දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අභිමානවත් ව්‍යාපාරයක් බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී ඉදිරිපත් කරන ලද බොහොමයක් ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එම ගැටලුවලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද කීවේය.

මෙම සාකච්ඡා අවස්ථාවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්ම මහත්මීන්ද, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව තිබිණි.