අතිශය වේගවත් ආක්‍රමණයකින් බෂාර් අල් අසාඩ්ගේ රජය පෙරළා දමා සිරියාවේ බලය අත්කරගත් බව එරට කැරලිකාර ඉස්ලාමිය සන්නද්ධ කණ්ඩායම නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සතියේදී සිරියානු රජයේ හමුදාවට විස්මිත ප්‍රහාරයක් එල්ල කරමින් වයඹදිග සිරියාවේ ඇලෙප්පෝ නගරය අල්ලාගත් කැරලිකාර කණ්ඩායම මැඬ පැවැත්වීමට සහාය වූ රුසියානු හමුදාවේ ගුවන් ප්‍රහාර ද අබිබවා යමින් ඊයේ දමස්කස් අගනුවර දක්වා ආක්‍රමණය වේගවත් කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සන්නද්ධ කණ්ඩායමේ දැඩි ආක්‍රමණය හමුවේ සිරියානු රජයේ හමුදාව සටනින් ඉවත්වූ බව ද වාර්තා වේ.
සිරියාව නිදහස් කර ගත් බවට නිවේදනය කළ හයාට් ටහ්රීර් අල් ෂාම් හෙවත් එච්ටීඑස් නමැති එම ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම ජනාධිපති බෂාර් අල් අසාඩ් රටින් පැන ගිය බව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජනාධිපතිවරයා සිටින ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව සිරියාවේ අගමැති මොහොමඩ් ගාසි අල් ජලාලි ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
වසර 2017දී සිරියාව සහ ලෙබනනය කේන්ද්‍ර කරමින් ආරම්භ කළ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ නායකයා අබු මොහොමඩ් අල් ජොලානි පසුගියදා සීඑන්එන් පුවත්සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ බෂාර්ගේ රජය පෙරළා දැමීම සිය කණ්ඩායමේ එකම ඉලක්කය වන බවය. බෂාර් අල් අසාඩ්ගේ පාලනය බිඳ වැටීමත් සමඟ එරට වසර 53ක අසාඩ් පවුලේ පාලනය නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිරියාවේ 18 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බෂාර්ගේ පියා හෆීස් අල් අසාඩ්ගේ ධුර කාලය 1971 සිට 2000 වසරේ ඔහු ජීවිතක්ෂයට පත්වන තුරු පැවැති බවත්, බෂාර් අල් අසාඩ් ජනපතිධුරයට පත්වූයේ ඉන් පසුව බවත් වැඩිදුරටත් වාර්තා වේ. දමස්කස් නුවර දක්වා ආක්‍රමණය කරමින් පැමිණි එම කණ්ඩායමේ සහායට අවසන් මොහොතේදී එරට විපක්ෂය ද, බෂාර් විරෝධී ජනතාව ද එක්වී ඇති අතර, අගනුවරට කිලෝමීටර් 10ක දුරින් පිහිටි ජනාධිපතිවරයාගේ පියාගේ ස්මාරකය ද කඩා බිඳ දැමූ බව වාර්තා වේ.
සිරියාවේ බලය අත්පත් කරගත් සන්නද්ධ කැරලිකාර කණ්ඩායමේ නායකයා ඊයේ ප්‍රකාශ කර ඇත්තේ නිල වශයෙන් රටේ පාලනය සියතට ගන්නා තුරු සියලු මහජන ආයතනවල අධීක්ෂණ කටයුතු හිටපු අගමැති අල් ජලාලි විසින් සිදු කරනු ඇති බවය.
කෙසේවෙතත් ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම සිරියාවේ බලය අත්කර ගැනීම අනතුරුදායක තත්ත්වයක් බවට කටාර්, සෞදි අරාබිය, ජෝර්දානය, ඊජිප්තුව, ඉරාකය, ඉරානය,තුර්කිය සහ රුසියාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති අතර, සිරියාවේ අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අවධාරණය කර තිබේ.