බීමතින් අනතුරක් සිදු කිරීම ලොහාන් අද දක්වා රක්ෂිතයට

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදු කළැයි කියන සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා අද (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. කොටස් එකලස් කරන ලද නීති විරෝධී ජීප් රථයක් පරිහරණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා දිනකට පසු නැවතත් රත්වත්තේ මහතා පොලිස් අත්අඩංගුවට පත්වන්නේ පසුගිය 06 වෙනිදාය. බීමතින් ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර කොල්ලුපිටිය ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සහ අනතුරට පත් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන්ට බැණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකකාර හිටපු රාජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය ඉකුත් 07 දා අධිකරණයට දැනුම් දුන්නේය. එහි දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සැකකාර රත්වත්තේ මහතා පසුගිය 06 දා ඩිෆෙන්ඩර් රථය ධාවනය කරගෙන කොළඹ ප්‍රදේශයට යමින් සිටින අතරතුර කොල්ලුපිටිය මංසන්ධියේ දී එම රථයට ඉදිරියෙන් ධාවනය කරමින් තිබූ මෝටර් රථයක පසුපස කොටසේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. සිද්ධියෙන් අනතුරුව සැකකාර ලොහාන් රත්වත්තේ මහතා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඔහු මත්පැන්වලට අමතරව කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන් වන බව ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා පොලීසිය විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. රත්වත්තේ මහතා ධාවනය කරමින් තිබූ ඩිෆෙන්ඩර් රථය කොටස් එකලස් කර සකස් කළ රථයක් ද යන්න පිළිබඳ විමර්ශනය කරන බව ද පොලීසිය එහි දී අධිකරණයට දැනුම් දුන්නේය. මෙම අනතුරින් පසුව ලොහාන් රත්වත්තේ අනතුරට පත් මෝටර් රථයේ ගමන්ගත් රියදුරු ඇතුළු පුද්ගලයන් දෙදෙනකුට බැණ තර්ජනය කර ඇති බවත් පොලීසිය තුළදී ද ඔහු කලහකාරී ලෙස හැසුරුණු බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.සැකකරු අද දින කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.