ද්වීපාර්ශ්වික සහයෝගිතා වර්ධනයට අවධානය-වෙසක් උත්සවය ඒකාබද්ධව සැමරීමටත් යෝජනාවක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්වීපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ.

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය බැංකොක් නගරයේදී, බැංකොක් ආණ්ඩුකාර චැඩ්චට් සිටිපුන්ට් මහතා හමුවූ අවස්ථාවේ ශ්‍රී ලංකාව සහ බැංකොක් අතර සහයෝගිතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තිබෙන ගැඹුරු බෞද්ධ හා සංස්කෘතික සහයෝගිතාව ශ්‍රී ලංකා තානාපතිනිය විසින් පෙන්වා දී තිබෙන අතර මහනුවර දළදා පෙරහර සහ රාමායණය වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංකේතයන් කෙරෙහි ද අවධානය යොමු කර ඇත.

එවැනි සංස්කෘතිකමය උරුමයන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික පොහොසත්කම පිළිබිඹු කරනවා පමණක් නොව, තායිලන්තයේ ඓතිහාසික හා ආධ්‍යාත්මික සම්ප්‍රදායන් සමඟ සම්බන්ධ වී තිබෙන ආකාරය ද ඒ මහත්මිය පෙන්වා දී තිබේ. ඊට අමතරව නාගරික අභියෝගවලට මුහුණදීම සඳහා තායිලන්තයේ සංවර්ධනය කරන ලද ඉතා සාර්ථක ඩිජිටල් මෙවලමක් වන ට්‍රැෆි ෆොන්ඩියු භාවිත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

නාගරික තිරසරභාවය සහ පාරිසරික කළමනාකරණය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ මුලපිරීම සමඟ සමපාත වීම සඳහා මෙම නව්‍ය ක්‍රමය උපයෝගී කර ගැනීමට තානාපතිවරිය යෝජනා කර තිබෙන අතර දැනුම බෙදා ගැනීම, ගවේෂණය කිරීම සහ සමාන විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව සම්බන්ධයෙන් ද කරුණු දක්වා තිබේ.

මේ අතර සෞඛ්‍යය, අධ්‍යාපනය, පරිසරය, සංචාරක ව්‍යාපාරය සහ සංස්කෘතික හුවමාරුව තුළ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කර ගත් හවුල්කාරීත්වයක් වන කොළඹ සහ බැංකොක් සහෝදර නගර ලෙස ප්‍රකාශයට පත්කිරීමේ යෝජනාව මෙම සාකච්ඡාවේදී සිදුව තිබෙන අතර එය තවත් විශේෂත්වයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙයි. එවැනි හවුල්කාරීත්වයක් මඟින් ක්ෂේත්‍ර කිහිපයක් හරහා සබඳතා වැඩිදියුණු කර ගැනීමට පහසුකම් සැලසිය හැකි අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

බැංකොක් ආණ්ඩුකාරවරයා මෙම අදහස පිළිගෙන තිබෙන අතර සංස්කෘතික හුවමාරුව කෙරෙහි උනන්දුවක් දක්වා ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ධාතු ප්‍රදර්ශනය කිරීම, බෞද්ධ උරුමය පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධය සහ අගය කිරීම සම්බන්ධයෙන් ද ඒ මහතා කරුණු දක්වා තිබේ.

මීට අමතරව, දෙරටේ බෞද්ධයන්ගේ පූජනීය උත්සවයක් වන වෙසක් උත්සවය ඒකාබද්ධව සැමරීමට යෝජනා කරමින් 2025දී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට එළඹෙන 70 වැනි සංවත්සරය පිළිබඳව ද තානාපතිවරිය සාකච්ඡා කර ඇත. සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, සංස්කෘතික ප්‍රවර්ධනය සහ තිරසාර සංවර්ධනය සඳහා මාර්ග තවදුරටත් ගවේෂණය කිරීමේ එකඟතාවකින් එම රැස්වීම අවසන් වී ඇත.

දෙපාර්ශ්වයම ඓතිහාසික හා සංස්කෘතික සබඳතාවන්හි ශක්තිමත් පදනමක් මත ගොඩනැංවීම, ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීම සඳහා ඔවුන්ගේ හවුල් දැක්ම යළි තහවුරු වූ බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.