ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ තුළ අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කරනවා-සියලු වෘත්තීයවේදීන්ට එක්වන්නැයි ජනපති කියයි

දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ පසුගිය දා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේදී එම ඇමැති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් අමතමනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.

“ඕනෑම අවස්ථාවක ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකියාව තිබෙනවා.

දිළිඳුබව තුරන් කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වෙනවා.

ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය වන්නේ නැහැ. මෙයට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යංශයක් පැවතුණා. මේ වනවිට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේ ඉදිකිරීම් පමණයි. පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සිදු කර නැහැ. සිදු කර තිබෙන්නේ ගොඩනැඟිලි ඉදිකිරීම් සඳහා සාකච්ඡා පමණයි.

කම්කරු අමාත්‍යාංශයට විශාල ගොඩනැඟිලි දෙකක් තිබෙනවා. නමුත් තවමත් ජනතාවගේ පෝලිම්වල අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි.

ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඉපැයීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේනවා. ඩිජිටල් ශ්‍රම බළකාය ලක්ෂ දෙක දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම අරමුණ වෙනවා.”

ඉංජිනේරු එරංග වීරරත්න මහතා ද මෙම අවස්ථාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගත්තේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ICTA ආයතනයේ සභාපති හාන්ස් විජේසූරිය මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.