දේශීය අත්යන්ත්‍ර පේෂකර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය කරමින් එහි නිරත ශිල්පීන්ගේ ජීවන තත්වය නඟා සිටුවීමේ අරමුණ ඇතිව පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ″ රන්සළු ″ ජාතික අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල පසුගියදා (06) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ Open Air හිදී ආරම්භ විය.
මෙම ප්‍රදර්ශනයට සමගාමීව පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද පේෂ කර්මාන්ත රෙදිපිළි නිර්මාණ තරඟයේ විවිධ අංශ මඟින් ජයග්‍රහණය කළ ශිල්පීන් 125 දෙනෙක් සඳහා සම්මාන හා මුදල් ත්‍යාග ප්රදානය කිරීමද සිදු කරන ලදී. ජයග්‍රහණ නිර්මාණ ඇතුළත් විලාසිතා දැක්මක්ද ප්‍රදර්ශන භූමිය තුළ සංවිධාන කර තිබූ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුන් මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.
දින තුනක් පුරා පැවැත්වෙන අලෙවි කුටි 43 කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ සාරි ,කමිස, සරොන්, සල්වාරි, ඇඳ ඇතිරිලි, මේස රෙදි, තුවා, බිත්ති සැරසිලි ඇතුළු අත්යන්ත්‍ර නිෂ්පාදන රැසක් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත හිමිවෙයි.
ප්‍රදර්ශනය නැරඹීමට එක් වූ සුනිල් හඳුන්නෙත්ති හා චතුරංග අබේසිංහ අමාත්‍යවරුන් ප්‍රදර්ශනයට එක්ව සිටි පේෂ කර්මාන්ත ශිල්පීන් හා ගැනුම්කරුවන් සමග අදහස් හුවමාරු කරගත් අතර පේෂ කර්මාන්ත ශිල්පීන් විසින් තම කර්මාන්තය කරගෙන යාමේදී ඔවුන් දෙන මුහුණ දෙන ගැටලු පිළිබඳව අමාත්‍යවරුන් දැනුවත් කරන ලදී. මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් විජයාවතරණයේ සිට අද දක්වාම අති මහත් දුෂ්කරතා රැසක් හමුවේ දේශීය අත්යන්ත්‍ර පේෂකර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන රැගෙන පැමිණි ශිල්පීන්ට ජාතියේ ප්‍රණාමය පුද කළේය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම්වරුන් වන නන්දනී සමරවික්‍රම හා සුභද්‍රා වල්පොල, පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සේනානි සෙනෙවිරත්න, අමාත්‍යාංශ නිලධාරීන්, පේෂ කර්මාන්ත ශිල්පීන්, ගැනුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.