ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව අතරේ බෙදාහැරීම සදහා , ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ මැදිහත්වීමෙන් ජපාන රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ දී ඊයේ(07) රාත්‍රී මෙරටට භාර දීම සිදු විය.
අධාර තොගය අතර කූඩාරම් ( Tents ) 230 ක් , මෙට්ට ( Sleeping Pads ) 1,300 ක් සහ ප්ලාස්ටික් ෂීට් (Plastic Sheets ) මීටර් 50 ක් දිග රෝල් 30 ක් ද විය.
මෙම ආධාර තොගය ගංවතුරින් විපතට පත් දිස්ත්‍රික්ක 13 ක ජනතාව අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ඒ ඒ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ මැදිහත් , ක්ෂණිකවම සහ ඉදුරාම බෙදාහැරීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික ) සම්පත් තුයියකොත්තා , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා ( Akio Isamata ) සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටෙට්සුයා යමාඩා ( Tetsuya Yamada ) යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ආධාර තොගය ජපානයේ සිට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.