රයන් මංගල ශතකයෙන් දකුණු අප්‍රිකා ඉනිම ඔසවයි

මුල් පෙළ පිතිකරුවන් තිදෙනකු ලකුණු 44ක් තුළ යළි විවේකාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුවත් ඉනිම ගොඩනැඟීමේ බර කරට ගත් රයන් රිකෙල්ටන්ගේ මංගල ශතකය හේතුවෙන් ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදීත් පළමු දිනයේ වැඩි වාසි හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269ක් රැස් කර තිබූ අතර කයිල් විරෙයින් ලකුණු 48ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. තරගය නතර කිරීමට ඕවර කිහිපයක් තිබියදී රයන්ගේ ඉනිම ලකුණු 101කින් නතර කිරීමට ළහිරු කුමාර සමත් විය. පන්දු 231කින් ශතකය වාර්තා කළ රයන් දැවී යන විට හතරේ පහර 11ක් සමඟ පන්දු 250කට මුහුණදී තිබිණි. ඊළඟ ඕවරයේදී සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි මාර්ක් ජැන්සෙන් (4) දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.

එක දිගට ටෙස්ට් තරග 7කදී කාසියේ වාසිය දිනා සිටි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාට ඊයේ එම අවස්ථාව අහිමි වූ අතර, බවුමා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒඩ්න් මාක්‍රම් සමඟ දකුණු අප්‍රිකානු ඉනිම ඇරඹූ ටෝනි ඩි සෝර්සි ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය. සුවිශේෂී කඩඉමක් පැනීමේ බලාපොරොත්තුවෙන් මේ තරගයට එක් වූ ළහිරු කුමාර ලකුණු 20ක් රැස් කර සිටි මාක්‍රම් පිටියෙන් ඉවත් කරමින් එම කඩඉම සපුරා ගත්තේය. මේ තරගයට පෙර ටෙස්ට් කඩුලු 99ක් දවාගෙන සිටි ළහිරු 100 වැනි කඩුල්ල ලෙස මාක්‍රම් දවාගත් අතර, ඉන් නොනැවතුණු ඔහු කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමඟ එක්ව ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 4කට දවා ගත්තේය.

මාක්‍රම් දවා ගැනීමත් සමඟ ටෙස්ට් කඩුලු 100ක් දවාගත් 9 වැනි පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක් වූ ළහිරු ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන් අතරේ 5 වැනි තැන සිටී. ඊයේ ස්ටබ්ස් දවා ගැනීමට සමත් වූ ළහිරු ඉනිමේ සාර්ථකම පිතිකරු වූ රයන් රිකෙල්ටන් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලාංකික ටෙස්ට් කඩුලුලාභීන් අතර ලසිත් මාලිංග (101) පසු කිරීමට සමත් විය. ප්‍රභාත් ජයසූරිය (102) සමඟ සමතැන් ගත් ඔවුන්ට ඉදිරියෙන් මුත්තයියා මුරලිදරන් (800), රංගන හේරත් (433), චමින්ද වාස් (355), සුරංග ලක්මාල් (171) සහ ඩිල්රුවන් පෙරේරා (161) සිටිති.

කෙසේ වෙතත් සිය 8 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි රයන් රිකෙල්ටන් නායක ටෙම්බා බවුමා සමඟ එක්ව ලකුණු 133ක සබඳතාවක් පිහිටුවමින් ඉනිම ගොඩනැඟීය.

මුළු ලකුණු 177දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමත් සමඟ බවුමාගේ ඉනිම ලකුණු 78කින් නිමා විය. පන්දු 109කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි. තවත් ලකුණු 9ක් තුළ ඩේවිඩ් බෙඩිංහැම් (6) දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූයේ තම 102 වැනි ටෙස්ට් කඩුල්ල ලෙසිනි.

ශ්‍රී ලංකාව පළමු තරගයට එක් වූ කණ්ඩායම මේ තරගයටත් එක් කර තිබූ අතර, දකුණු අප්‍රිකාව පළමු තරගයේදී ආබාධයන්ට ලක්වූ ජෙරල්ඩ් කෝට්සි සහ වියාන් මෝල්ඩර් වෙනුවට ඩේන් පැටර්සන් සහ රයන් රිකෙල්ටන් එක් කර තිබිණි.

අද තරගයේ දෙවැනි දිනයයි.