ඔස්ට්‍රේලියාවේදී සිදු කළ එල්.ටී.ටී.ඊ. සැමරුමක වීඩියෝ දර්ශන උතුරු ප්‍රදේශයේ පැවති මහවිරු සැමරුම් උත්සව ලෙස මුහුණුපොතේ පළ කරමින් හුවමාරු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (05) නියෝග කළේය.
මෙරටදී මහවිරු සැමරුම සංවිධානය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට නියෝග කළේය.
රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (05) පෙරවරුවේදීය.
ඔස්ට්‍රේලියාවේ ව්‍යාප්ත වූ මහවිරු සැමරුමක වීඩියෝ දර්ශන සැකකාර රේණුක පෙරේරා මහතාගේ මුහුණුපොත හරහා ප්‍රචාරය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
ඔස්ට්‍රේලියාවේ මහවිරු සැමරුමේ සිදුවූ වීඩියෝ දර්ශන මුහුණුපොත හරහා ලංකාවේ සිටින ජනතාව අතර ප්‍රචාරය කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව මහජන අප්‍රසාදය, ජාතීන් අතර වෛරීසහගතභාවය ඇති වීමට බලපාන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මහජන විරුද්ධත්වය ඇවිස්සීම, ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මඟින් ප්‍රචාරය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලිකව විධි විධාන පනතේ 27 වැනි වගන්තියට ප්‍රකාරව මොහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ඇන්ටන් සේනානායක ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුවේ, තම සේවාදායකයා විසින් නිර්මාණය කරන ලද වීඩියෝ දර්ශනයක් නොව ඔස්ට්‍රේලියාවේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනයක් සේවාදායකයා ප්‍රචාරය කිරීම වැරැද්දක් නොවන බවය. අද සමාජයේ මුහුණුපොත හරහා විවිධ සංවිධානවලින් පළ කරන වීඩියෝ දර්ශන ඡායාරූප බොහෝ පිරිස් සිය මුහුණුපොත හරහා ප්‍රචාරය කරන බවය.
සැකකරු සම්බන්ධයෙන් නඟා ඇති චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට බැලූ බැල්මට අදාළ නොවන බවත් දණ්ඩ නීති සංග්‍රහයේ 120 පනතට අනුව මෙම සිද්ධියට අදාළව කිසිදු සාක්ෂියක් සැකකරු වෙනුවෙන් ලැබී නැති අවස්ථාවක “පණිවිඩකරුවා මරා දැමීමට” ක්‍රියා නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
මුහුණුපොත හරහා විකාශනය වන වීඩියෝ දර්ශන ප්‍රචාරය කළ පමණින් සැකකරුවන් ලෙස සලකා අත්අඩංගුවට ගැනීම සදාචාර සම්පන්න නොවන බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශනය ඒකකයේ නිලධාරීන්ට සඳහන් කළේය.
“සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී මෙවැනි සිද්ධිවලදී අවම සදාචාරයක්වත් පාවිච්චි කරන්න” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
පසුගිය දිනවලදී කුඩා දරුවකුට පහර දීමක් පිළිබඳ බලා සිටි පුද්ගලයකු තම මුහුණුපොත හරහා ප්‍රචාරය කර තිබීම තුළින් එම දරුවාට නීතිය ක්‍රියාත්මක වූ බවත් එහිදී පොලීසිය මඟින් එම ක්‍රියාව කළ පුද්ගලයා මිස සිද්ධිය ප්‍රචාරය කළ පුද්ගලයා අත්අඩංගුවට නොගත් බව උදාහරණ දක්වමින් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ ඒකකයේ පරිගණක විමර්ශන නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
ඒ අනුව සිද්ධියට අදාළව දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අධිකරණය දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව මෙම සැකකරුගේ ක්‍රියාකලාපයට එරෙහිව කිසිදු මහජන පැමිණිල්ලක් හෝ ප්‍රකාශයක් සාක්ෂියක් ලෙස මේ වනතෙක් ලැබී නැති බැවින් සැකකරු ඇප මත මුදාහරින ලෙසට නියෝග කළේය.
වීඩියෝ දර්ශන පෝස්ට් ප්‍රචාරය කරන පුද්ගලයන් නොව මහවිරු සැමරුම සංවිධානය කරන ලද පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ ඇන්ටන් සේනානායක, අතුල සිල්වා, රණවක, ජනක අරුණ, අනුරාධ වෙහෙරගොඩ, මනෝජ් ගමගේ යන නීතිඥවරු අධිකරණයේ පෙනී සිටියහ.