සතොස සේවකයන් රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගත් ඊයේ (05දා) දින හිටපු ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සාක්ෂි දුන්නේය.
සාක්ෂි විමසීමෙන් අනතුරුව ලබන දෙසැම්බර් 13දා ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා දින නියම කළේය.
සමුපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් 2012 වසරේදී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යොදවා වැටුප් හා දීමනා ලෙස රුපියල් 86,47,224ක මුදලක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබේ.
අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ 113, 102 වගන්ති යටතේ දූෂණය නමැති වරදට හා එයට අන් අය පෙලඹවීමේ චෝදනාව යටතේ අධිචෝදනා 4ක් යටතේ නඩු පවරා ඇත.
සමුපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව පී. එරාජ් ට්‍රියන්ත ප්‍රනාන්දු සහ කේ.එම්. මොහොමඩ් ෂාකීර් යන මහත්වරුන් මෙම නඩුවේ සෙසු චුදිතයෝ වෙති.