මෙරට සෞඛ්‍ය සේවාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක්කර පුළුල් පහසුකම් සපයමින් නවීන තාක්ෂණයද භාවිත කර මනා කළමනාකරණයක් තුළින් වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි සැලැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.
ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය, සුභසාධනය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙන්ම ආර්ථික, සාමාජයික, සංස්කෘතික හා විද්‍යාත්මක අංශයන්හි ප්‍රගතිය අරමුණු කරගෙන අන්තර්ජාතික සංවිධාන රැසක් මෙරට නව ව්‍යාපෘතින් ක්‍රියාවට නැංවීමට දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බව පෙන්වා දුන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් වැනි අන්තර් ජාතික සංවිධාන රැසක් දැනටමත් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ නැංවීමට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට ද එකඟත්වය පළ කර ඇති බව ද කීවේය.
මෙහිදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය රටවල් අතර සහයෝගිතාව හා සම්බන්ධීකරණය ඉහළ නැංවීම තුළින් මෙන්ම ව්‍යාපෘති නිසි පරිදි කළමණාකරණය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග ජයගෙන පවතින ගැටලු නිරාකරණය කරගත හැකි බවත්, නව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා ව්‍යාපෘතින් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට අනුගමනය කරන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවත්, එම වැඩපිළිවෙළ ඇගයීමට ලක් කරන බව ද පැවසුවාය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.