කොරියානු ජනරජයේ ජාතික සභාව යුද නීතිය මඟින් පාලනයට එරෙහි වීමට ගත් කඩිනම් සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ගය අගය කළ යුතු බවත්, ජනාධිපති යූන් සුක් යෙප්ගේ යුද නීතිය ප්‍රකාශ කිරීම කොරියානු ජනරජයේ ප්රජාතන්ත්රවාදී පද්ධතියට තර්ජනයක් වී ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.
ඒ මහතා මේ බව සඳහන් කළේ මේ වන විට දකුණු කොරියාවේ උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමිනි.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෙන්ම පරිපාලනයට සහය දෙන අයගේද එකමුතුකම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්විය යුතු බවත්, විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ පාර්ලිමේන්තුවේ ශක්තිය මින් පෙන්නුම් කරන බවත් මෙහිදී පෙන්වා දී ඇත. දකුණු කොරියාවේ ඇති වී තිබෙන මෙම ව්‍යවස්ථාමය අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කොරියානු ජනරජයේ අවශ්‍යතාවක් බවත් නිවේදනයේ වැඩිදුරටත් පෙන්වාදී තිබේ.